පොලිස් නිලධාරියාට මිනීමැරුම් චෝදනා
ජෝර්ජියා ජනපදයේ ඇට්ලැන්ටා නුවරදී රෙෂාඞ් බෲක්ස් නමැති අප්‍රිකා ඇමෙරිකා කළු ජාතිකයාට වෙඩි තැබූ සුදු ජාතික පොලිස් නිලධාරියාට මිනීමැරුම් චෝදනා එල්ල වී ඇතැයි වාර්තා වේ.
27 හැවිරිදි, රෙෂාඞ් බෲක්ස් ඝාතන සිදුවීම වාර්තා වූයේ පසුගිය 12 වැනිදා රාත්‍රියේය. ඊට පොලිස් නිලධාරීන් දෙදෙනකු සම්බන්ධ අතර බෲක්ස්ගේ පිටුපසට වෙඩි තැබූ පොලිස් නිලධාරියා වන්නේ චෝදනා ලැබ සිටින ගැරට් රොෆෙල්ය. අනෙක් පොලිස් නිලධාරියා ඩෙවින් බ්‍රොන්සන් වන අතර, ඔහු අධිකරණයේ සාක්ෂි දීමට නියමිතය.
සිද්ධිය වාර්තා වීමත් සමඟ පොලිස් නිලධාරීන් දෙදෙනාගේ වැඩ තහනම් කෙරුණු නමුත් ඔවුන් අත්අඩංගුවට ගැනීමක් සිදු නොවිණි. දෙදෙනා අත්අඩංගුවට ගැනීම සිදුවූයේ පසුගිය 16 වැනිදාය. ගැරට් රොෆෙල්ට චෝදනා 11 ක් එල්ල වී ඇත. සියලු චෝදනාවලට ඔහු වරදකරු වුවහොත් මරණ දඬුවම හිමිවනු ඇතැයි ද ඇමෙරිකන් පුවත් සේවා පැහැදිලි කර තිබේ.
රෙෂාඞ් බෲක්ස් ඝාතනය වූයේ ඔහු පොලිස් නිලධාරීන් දෙදෙනා සමඟ කළ පොර බැඳීමකින් පසුවය. සිද්ධියේ දසුන් පොලිස් නිලධාරීන්ගේ නිල රථයේ කැමරාවේ සටහන් වී තිබේ. මේ වනවිට මාධ්‍ය හරහාත් සමාජ මාධ්‍ය හරහාත් ප්‍රසිද්ධියට පත් වී ඇත්තේ එම දසුන්ය.
ඇමෙරිකාවේ අප්‍රිකා ඇමෙරිකා කළු ජාතිකයන්ට එරෙහි සුදු ජාතික පොලිස් නිලධාරීන්ගෙන් එල්ල වන ප්රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන්, මේ වනවිට ඇමෙරිකාව පුරා විරෝධතා පැවැත්වෙයි. විරෝධතාකරුවන්ගේ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින්, ඇමෙරිකා පොලිසියට නව ප්‍රතිසංස්කරණ හඳුන්වාදීමේ විධායක නියෝගයකට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අත්සන් කර තිබේ.
මීට අමතරව, ප්‍රාන්ත මට්ටමින් සහ නගර මට්ටමින් ද පොලිස් ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීමට නියමිතය. ඇට්ලැන්ටා නගර බලධාරීන් ද තීරණය කර ඇත්තේ, පොලිසියට ප්‍රතිසංස්කරණ රැසක් අවශ්‍ය බවය.
ඇට්ලැන්ටාහිදීය (රොයිටර්)