පුන්‍යායතනයට පැනැවූ තහංචි ඉවත් කෙරේ



තෙරේසා මවුතුමිය ආරම්භ කළ, කතෝලික සභාව යටතේ ක්‍රියාත්මක වන ‘මිෂනාරීස් ඔෆ් චැරිටි’ පුණ්‍යායතනයේ කටයුතු බාධාවකින් තොරව කරගෙන යෑමට ඉන්දීය ස්වදේශ කටයුතු අමත්‍යාංශය අවසර ලබා දී තිබේ.

ඉන්දියාවේ ක්‍රියාත්මක, රාජ්‍ය නොවන සංවිධානවලට විදෙස් ආධාර ලබා ගැනීම සඳහා වන බලපත්‍ර අලුත් නොකිරීමට ඉන්දීය ස්වදේශ කටයුතු අමත්‍යාංශය තීරණය පසුගිය දා තීරණය කළේය. ඒ අනුව, ‘මිෂනාරීස් ඔෆ් චැරිටි’ පුණ්‍යායකනයේ බලපත්‍රය අහොසි කෙරුණි.  ‘මිෂනාරීස් ඔෆ් චැරිටි’ ද රාජ්‍ය නොවන සංවිධානයකි.

ඉන්දීය ස්වදේශ කටයුතු අමත්‍යාංශය, ‘මිෂනාරීස් ඔෆ් චැරිටි’ පුණ්‍යායතනයේ බැංකු ගිණුම් අත්හිටුවීමටත්, විදේශවලින් ඊට ලැබෙන අරමුදල් නැවැත්වීමටත් කටයුතු කළේ පසුගිය නත්තල් දා වීම විශේෂත්වයකි.

බටහිර මාධ්‍ය වාර්තා කළේ භාරතීය ජනතා පක්ෂ රජයට, හින්දු අන්තවාදීන්ගෙන් එල්ල වූ පීඩනය හේතුවෙන් නත්තල් දා එසේ තහංචි පැනැවීම සිදුවුණු බවය.

‘මිෂනාරීස් ඔෆ් චැරිටි’ පුණ්‍යායතනය, ඉන්දියාවේ අසරණ වැසියන් වෙනුවෙන් සිදු කරන පුණ්‍ය කටයුතු කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන බැවින්, පැනැවූ තහංචි සියල්ල ඉවත් කරන බවත් අදාළ බලපත්‍ර්‍ය යළි අලුත් කළ බවත් ඉන්දීය ස්වදේශ කටයුතු අමත්‍යාංශය පැහැදිලි කළේය.

අසරණ අහිංසක වැසියන්ට පිහිටවීම සඳහා තම ජීවිතය කැප කළ උදාර චරිතයක් ලෙස තෙරේසා මවුතුමිය සැලකෙයි. මැසිඩෝනියාවේ සිට පැමිණ 1950 වසරේ දී ඉන්දියාවේ කොල්කටාව සිය නිවහන කරගත් තෙරේසා මවුතුමියට 1979 වසරේ නොබෙල් සාම ත්‍යාගය පිරිනැමුණේ ඇගේ මානුෂීය සේවාව අගය කරමිණි.

තෙරේසා මවුතුමියගේ අභාවයෙන් වසර 19කට පසු 2016 වසරේදී ශූද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් තුමන් විසින් ඇය ශාන්තූවරියක ලෙස නම් කරනු ලැබුණි. ‘මිෂනාරීස් ඔෆ් චැරිටි’ පුණ්‍යායතනයේ මූලස්ථානය ඇත්තේ බටහිර බෙංගාලයේ කොල්කටා නුවරය.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS