පාකිස්තානයෙන් කොරෝනා මරණ 153ක්



පාකිස්තානයෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම නව කොරෝනා ආසාදිත මරණ ගණන ඊයේ (20) දිනයේදී වාර්තා වූ අතර එම ගණන 153ක් ලෙස දැක්විණි.

නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ල වූ දෙවැනි ආසියානු රට බවට පත්ව ඇත්තේ පාකිස්තානය යි.

නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පැනවූ සීමා ඉවත් කිරීමට පාකිස්තානය පියවර ගත්ත ද මේ වනවිට එරටින් දෛනික වාර්තා වන ආසාදිතයන්ගේ ගණන ශීඝ්‍රයෙන් ඉහළ යමින් තිබේ.

පාකිස්තානයෙන් අද (21) පස්වරු 2 වනවිට වාර්තා වූ සමස්ත නව කොරෝනා ආසාදිත මරණ ගණන 3,382ක් ලෙස දැක්විණි.

පාකිස්තානයෙන් මේ වනවිට වාර්තා වන සමස්ත ‘කොවිඩ්-19’ ආසාදිතයන්ගේ ගණන 1,71,666ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර එරට රෝහල් වයිරස ආසාදිත රෝගීන්ගෙන් පිරීගොස් ඇත.

මිලියන 220කට වඩා වැඩි ජනතාවක් ජීවත්වන පාකිස්තානයට ඇත්තේ ‘දැඩි සත්කාර ඒකක ඇඳන්’ 3,000කටත් අඩු සංඛ්‍යාවකි. එය ලොව අඩුම සංඛ්‍යාවක් යැයි ද පැවසේ.

නව කොරෝනා වයිරස ආසාදිත පොකුරු හමු වූ ජනාවාස සහ ව්‍යාපාරික ස්ථාන 800කට වැඩි ප්‍රමාණයකට සීල් තැබීමට ද පාකිස්තාන බලධාරීන් පියවර ගෙන ඇත. ඊට අමතරව දැඩි බලපෑමක් එල්ල වූ ප්‍රදේශවලට වෙන්ටිලේටර්ස් (ස්වසන සංවාතන යන්ත්‍ර) යැවීමට ද පියවර ගෙන තිබේ.

වෛද්‍ය වෘත්තිකයන් සහ ලෝක සෞඛ්‍ය සංවිධානය දිගින් දිගටම අවධාරණය කළද පාකිස්තානය දැඩි ‘ලොක්ඩවුන්’ සීමා පැනවීම ප්‍රතික්ෂේප කර ඇත.

අල්ජසීරා


RECOMMEND POSTS