පාකිස්තානයට ගෑස් නළ මාර්ගයක්



රුසියාවේ සිට පාකිස්තානයට ගෑස් නළ මාර්ගයක් විවෘත කිරීමට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් කැමැත්ත පළ කර තිබේ.

රුසියන් ජනාධිපතිවරයා මෙසේ කැමැත්ත පළ කර ඇත්තේ උස්බෙකිස්තානයේ සමර්කාන්ද් අගනුවර පැවැත්වෙන ෂැංග්හායි සහයෝගීතා සමුළුවට සමගාමීව පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් හමුවෙමිනි. අග්‍රාමාත්‍ය ධුරයට පත් වීමෙන් පසු, ෂෙහ්බාස් ෂරීෆ් සහ රුසියන් ජනාධිපති පුටින් අතර හමුවක් පැවැත්වුණු පළමු අවස්ථාව වන්නේ මෙයයි.

පාකිස්තානය මේ වනවිට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටී. පසුගිය දා අධික මෝසම් වැසි හේතුවෙන් පාකිස්තානය දරුණු ජල ගැලීම් තත්ත්වයකට ද මුහුණ දුන්නේය. ජල ගැලීම් හේතුවෙන් මියගිය ගණන 1,500 ට වැඩිය.

ආර්ථික අර්බුදය හමුවේ, රුසියාව තමන්ට ගෑස් සැපැයුම් මාර්ගයක් විවෘත කිරීමට කැමැත්ත පළ කිරීම සම්බන්ධයෙන් පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ය ස්තුති කිරීමට ද අමතක නොකළේය.

ද්වි පාර්ශ්වික සාකච්ඡා සඳහා අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අසුන් ගත් අවස්ථාවේදී අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ්ට අකරතැබ්බක් සිදුවිය. ඒ, ‘ඉයර්ෆෝන්’ උපාංගය කණට සම්බන්ධ කර ගැනීමට නොහැකි වීමෙනි. මෙය රුසියන් ජනපති පුටින්ට විහිළුවක් වූ බව ඉන්දියාවේ එන්.ඩී.ටීවී. පුවත් සේවය වාර්තා කර තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS