පළමු දින 100 ට එන්නත් මිලියන 100 ක්
තමන් ජනපති ධුරයේ දිවුරුම් දී පළමු දින 100 ගතවීමට පෙර, ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයෙන් ආරක්ෂාවීමට ඇමෙරිකානුවන්ට එන්නත් මිලියන 100 ක් ලබා දීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන බව ඇමෙරිකන් ජනපති ධුරය සඳහා තේරී පත් වී සිටින ජෝ බයිඩන් කියයි.
එම ඉලක්කය සපුරා ගැනීම මගින් ඇමෙරිකාව තුළ ‘කොවිඩ් 19’ හෙවත් වයිරස ව්‍යාප්තිය අවම කර ගැනීමටත්, වයිරසයට බිලිවන ජීවිත ප්‍රමාණය අවම කර ගැනීමටත් අපේක්ෂා කරන බව ජෝ බයිඩන් අවධාරණය කර තිබේ.
එපමණක් නොව, මුහුණු ආවරණ පැලඳීමට සෑම ඇමෙරිකානුවකුම යොමු විය යුතු බවත්, මීටර් දෙකක සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම සහ සෙසු සෞඛ්‍ය උපදෙස් පිළිබපැඳීම අනිවාර්යයෙන් කළ යුතු බවත් බයිඩන් පෙන්වා දී ඇත.
බයිඩන් මේ වනවිටත් කොරෝනා මර්දන කාර්ය සාධක බලකායක් පිහිටුවා ඇති අතර, මුහුණු ආවරණ පලඳින්නැයි පසුගිය කාලය පුරාවට ජනතාව දැනුවත් කළ ඇමෙරිකාවේ වසංගත රෝග පාලන විද්‍යායතනයේ ප්‍රධානී වෛද්‍ය ඇන්තනි ෆවුචි එම කණ්ඩායමට සම්බන්ධ කරගෙන සිටී.
ඇමෙරිකානුවන් සැවොම මුහුණු ආවරණ පැලඳිය යුතු බවත්, ඒසේ නොකළොත් ලක්ෂ ගණනින් මරණයට පත්වනු ඇති බවත්, වෛද්‍ය ෆවුචි අනතුරු ඇඟවූයේ ඇමෙරිකාවට වයිරසය ව්‍යාප්ත වීමට පෙරය. කෙසේ නමුත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හෝ ට්‍රම්ප් පරිපාලනයට සම්බන්ධ කිසිවකු හෝ ෆවුචිට කන් නොදුන් අතර, ට්‍රම්ප්ට ෆවුචි විහිළුවක් විය.
ජෝ බයිඩන් ඇමෙරිකන් ජනාධිපති ලෙස දිවුරුම් දීමට නියමිතව ඇත්තේ ලබන ජනවාරි 20 වැනිදාය. දිවුරුම් දීමෙන් පසු වයිරස ව්‍යාප්තිය තම ප්‍රථම රාජකාරිය කර ගන්නා බවත්, පාසල් කඩිනමින් යළි ආරම්භ කිරීමටත් වැටුණු ආර්ථිකය යළි ශක්තිමත් කිරීමටත් විශේෂිත වැඩවපිළිවෙළක් සකස් කරන බවත් බයිඩන් අවධාරණය කර තිබේ.
අනිද්දා (11) සිට ඇමෙරිකාවේ ෆයිසර් සහ ජර්මනියේ බයෝඇන්ටෙක් ඖෂධ නිෂ්පාදන සමාගම් එක් වී නිපදවා ඇති එන්නත් ඇමෙරිකානුවන්ට ලබා දීම ආරම්භ වෙයි. ඊට අමතරව ඇමෙරිකාවේ මොඩර්නා සමාගම නිපදවා ඇති එන්නත ද ඇමෙරිකානුවන්ට හිමිවනු ඇති බව එරට ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය පවසා තිබේ. මේ වනවිට ඇමෙරිකාවේ කොරෝනා ආසාදිතයන් ගණන මිලියන 15 පසු කර ඇති අතර, මරණ වාර්තා වන්නේ 2,85,000 ක් ලෙසය.
මේ අතර, ජෝ බයිඩන්, සිය සෞඛ්‍ය ලේකම්වරයා (සෞඛ්‍ය ඇමැති) ලෙස කැලිෆෝනියාවේ හිටපු නීතිපති එක්සේවියර් බැකෙරා සහ ආරක්ෂක ලේකම්වරයා (ආරක්ෂක ඇමැති) ලෙස විශ්‍රාමික හමුදා ජනරාල් ලොයිඩ් ඔස්ටින් නම් කර ඇත. ඒ, කොරෝනා මර්දන කටයුතු සඳහා ඔවුන් සුදුසු බව පෙන්වා දෙමිනි.
ඔබාමා පරිපාලන සමයේ ඇමෙරිකාවේ උප ජනාධිපති ලෙස කටයුතු කළේ ජෝ බයිඩන්ය. ‘ඔබාමා කෙයාර්’ නමින්, ජනපති ඔබාමා ඇමෙරිකාවේ සෑම සියලු දෙනාටම ගැලපෙන පහසු සෞඛ්‍ය රක්ෂණ වැඩපිළිවෙළක් හඳුන්වා දී දුන් අතර, එම කටයුතු අධීක්ෂණය කළේ 62 හැවිරිදි බැකෙරා බව පැවැසෙයි. 67 හැවිරිදි ලොයිඩ් ඔස්ටින්, ඇමෙරිකා ආරක්ෂක ලේකම් ලෙස පෙන්ටගනය හෙවත් ඇමෙරිකන් යුද දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස තේරී පත් වන පළමු කළු ඇමෙරිකානුවා වනු ඇත. මොහු 2013 සිට 2016 තෙක් කාලයේ ඇමෙරිකා ඒකාබද්ධ බලකා අණදෙන නිලධාරියා ලෙස රාජකාරි කර ඇත.
වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)