නවසීලන්ත අගමැතිනියගේ ප්‍රකාශය



නවසීලන්තයේ ඕක්ලන්ඩ් පුද්ගලයන් හය දෙනකුට පිහි ඇණුම් සිදු කර තුවාල කළ පුද්ගලයා කාලයක සිටි පොලිසිය දැන සිටි බව නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩ්න් ඊයේ (3) පැවැසුවා ය.

එම පුද්ගලයා ශ්‍රී ලංකා ජාතිකයකු බවත් “දැඩි අන්තවාදී මතධාරියකු” බවත් හෙතෙම වසර දහයක් තිස්සේ නවසීලන්තයේ සිට ඇති බවත් ඉස්ලාමික් ස්ටේට් සංවිධානයේ මතවලින් පෝෂණය වූවකු බවත් නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය කීවා ය.

මෙම පිහි ඇණුම් කළ පුද්ගලයා නිරන්තරයෙන් ආරක්ෂක අංශවල නිරීක්ෂණයට යොමු ව තිබූ බවත් ඇය පැවැසුවා ය.

“දැඩි අන්තවාදියකු අහිංසක නවසීලන්ත ජාතිකයන් ඉලක්ක කරගනිමින් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කළා” යැයි ද නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළා ය.

“ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා අයි.එස්.අයි.එස්.” මතවාදයෙන් පෝෂණය වූ අයෙක්” යැයි ඉස්ලාමික් ස්ටේට් සංවිධානය ගැන සඳහනක් කරමින් ඇය කීවා ය.

ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා නිශ්චිත වශයෙන් හඳුනාගෙන නොමැති බවත් කෙසේ නමුත් වසර පහක කාලයක සිට “ඔහු සිට සෙවිල්ලෙන්” සිටි බව ද අග්‍රාමාත්‍යවරිය පැවැසුවා ය.

එම පුද්ගලයා ඕක්ලන්ඩ් නුවර දී ප්‍රහාරය එල්ල කර තත්පර හැටක් ඇතුළත මරා දැමූ බව ද ඇය කීවා ය.

බඩු බාහිරදිය මිලදී ගන්නා අයුරින් හෙතෙම ඕක්ලන්ඩ් නිව් ලින් සුපිරි වෙළෙඳ සැලට පිවිස ඇති අතර පොලිසිය ද එම අවස්ථාවේ ඔහු පිළිබඳ සෙවිල්ලෙන් සිට ඇතැයි වාර්තා වේ. හෙතෙම සුපිරි වෙළෙඳසැලට ඇතුළු වූ අවස්ථාවේ දී විශාල පිහියක් එළියට ගෙන එහි සිට සිවිල් වැසියන්ට පිහි ප්‍රහාර එල්ල කර ඇතැයි සිද්ධිය ඇසින් දුටුවකු උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර තිබිණි.

“ඔහු පිළිබඳ අවධානයෙන් සිටින්න නිරීක්ෂණය කරන්න අපි හැමදේම කළා. ඒ වගේම ඉක්මනින් මැදිහත් වෙන්නත් අපිට හැකියාව ලැබුණා. අපි තත්පර 60කින් ඔහු මර්දනය කළා. අපි කොච්චර සමීපව ඔහු නිරීක්ෂණය කළා ද කියලා එමඟින් පෙනෙනවා” යැයි පොලිස් කොමසාරිස් ඇන්ඩෘ කොස්ටර් පැවැසීය.

ප්‍රහාරකයා තනිව පැමිණ ඇති බවත් මහජනතාවට තවදුරටත් තර්ජනයක් නැති බව තහවුරු කළ හැකි බවත් හෙතෙම කීවේ ය.

සුදු අන්තවාදියකු 2019 වසරේ මාර්තු 15 වැනිදා ක්‍රියිස්ට්චර්ච්හිදී මුස්ලිම් පල්ලියකට එල්ල කළ ප්‍රහාරයෙන් පසු නවසීලන්තය අන්තවාදී ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් දැඩි අවධානයකින් පසුවිය. එම ප්‍රහාරයෙන් 51 දෙනෙක් මරණයට පත්වූහ.

“එය වෛරී වැඩක්, එය වැරැදියි. තනි පුද්ගලයෙක් තමයි මේ ප්‍රහාරය කර තිබෙන්නේ. ප්‍රහාරය වගකීම ඔහුගේ” යැයි මෙහිදි අග්‍රාමාත්‍යවරිය කීවා ය.

මෙම ප්‍රහාරය සිදු වූ අවස්ථාවේදී එහි සිටි සිවිල් වැසියකු ගත් විඩියෝවක් ද සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත්විය.

“අතන පිහියක් තියාගෙන කෙනෙක් ඉන්නවා. ඒයා ගාව පිහියක් තියෙනවා,” එම විඩියෝ පටයේ කාන්තාවක කෑ ගසන හඬ ඇසෙන අතර “අන්න කෙනෙක්ට පිහියෙන් ඇණලා” යැයි තවත් පුද්ගලයකු කියන ආකාරය ද ඇසේ.

(බීබීසී)


RECOMMEND POSTS