නයිජර් රාජ්‍යයෙන් ප්‍රංශ හමුදා ඉවත් කර ගැනෙයි



නයිජර් රාජ්‍යයේ සිටින සියලුම රාජ්‍ය තාන්ත්‍රිකයන් සහ හමුදාව ඉවත් කර ගැනීමට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් තීරණය කර තිබේ.

ඉදිරි පැය කිහිපය තුළ නයිජර් රාජ්‍යයේ රැඳී සිටින සියලුම ප්‍රංශ රාජ්‍ය තාන්ත්‍රිකයන් ඉවත් කරගැනීමට නියමිත අතර, 1,500 ක පමණ ප්‍රංශ සොල්දාදුවන් පිරිස ඉදිරි කාලසීමාව තුළදී ඉවත් කර ගනු ඇතැයි ද පැවැසෙයි.

නයිජර් බටහිර අප්‍රිකා රාජ්‍යයකි. අතීතයේ එය ප්‍රංශ යටත් විජිතයකි. නයිජර් රාජ්‍යයේ නිල භාෂාව වන්නේ ප්‍රංශය. නයිජර් රාජ්‍යය ප්‍රංශයෙන් නිදහස ලැබුවේ 1958 වසරේදීය. පසුගිය ජූලි මාසයේ නයිජර් හමුදාව රටේ බලය අල්ලා ගත්තේය. ඔවුන්ට රුසියාවේ සහාය හිමිවුණු බව ද පැවැසිණි.

හමුදා පාලකයන් එක හඬින් කියා සිටියේ නයිජර් රාජ්‍යයේ රැඳී සිටි ඇමෙරිකන් සහ ප්‍රංශ හමුදා පිටව යා යුතු බවය. ඇමෙරිකන් සහ ප්‍රංශ හමුදා නයිජර් රාජ්‍යයේ රැඳී සිටියේ අප්‍රිකා කලාපයේ අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන් සහ සෙසු ඉස්ලාමීය ත්‍රස්තවාදීන්ට එරෙහිව හමුදා සහාය ලබා දීමටය.

හමුදා කුමන්ත්‍රණය සිදුවුණු අවස්ථාවේ සිට නයිජර් රාජ්‍යයේ ප්‍රංශ තතාපතිවරයා සහ ප්‍රංශ රාජ්‍ය තාන්ත්‍රිකයන් එරටින් පිටවීම ප්‍රතික්ෂේප කර තිබුණි. ඒ, ප්‍රංශ රජය, එම හමුදා කුමන්ත්‍රණයට විරෝධය පළ කළ බැවිනි. ඒ අනුව, නයිජර් හමුදාව ඔවුන් නිවාස අඩස්සියට ගැනීමට ද ඒ අනුව කටයුතු කළේය.


RECOMMEND POSTS