නයිගර් හමුදා ප්‍රධානීන්ට ඇමෙරිකාව දොස් කියයි



නයිගර් ජනාධිපති මොහොමද් බාසූම් බලයෙන් නෙරපා බලය අල්ලාගත් එරට හමුදාවට ඇමෙරිකාව දොස් නගයි.

ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව, නයිගර් හමුදා ප්‍රධානීන්ට දොස් නගමින් පවසා ඇත්තේ ඇමෙරිකා රජයේ සහාය හිමිවන්නේ කුමන්ත්‍රණකරුවන්ට නොව, ජනාධිපති මොහොමද් බාසූම්ට පමණක් බවය.

ඇමෙරිකාවෙන් නයිගර් රජයට ලැබෙමින් පවතින සියලු ආධාර නැවැත්වීමට කටයුතු කරන බව ද ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව හමුදාවට දැනුම් දී ඇත.

නයිගර් හමුදාව එරට බලය අල්ලා ගත් බව ප්‍රකාශ කළේ පසුගිය සතියේය. ඒ, ජනාපධිති මොහොමද් බාසූම්, ජනාධිපති ආරක්ෂක අංශ සාමාජිකයන් විසින් අත්අඩංගුවට ගනු ලැබීමත් සමඟය.

නයිගර් යනු බටහිර අප්‍රිකානු රාජ්‍යයකි. අතීතයේ නයිගර් ප්‍රංශ කොලනියක් විය. නයිගර් හමුදා කුමන්ත්‍රණය සම්බන්ධයෙන් යුරෝපා සංගමය ද සිය අප්‍රසාදය පළ කර ඇත.

මේ අතර, නයිගර් හමුදාව ප්‍රංශ රජයට විරෝධය පළ කර ඇතැයි ද වාර්තා වේ. නයිගර් හමුදාව ප්‍රංශ රජයට විරෝධය පළ කර ඇත්තේ රුසියානු ධජ අතැතිවය. රුසියාව පවසා ඇත්තේ හමුදා කුමන්ත්‍රණකරුවන්ට තමන් සහාය දෙන බවය.

නයිගර් හමුදා කුමන්ත්‍රණය මුල්කොට ගනිමින් ද මේ වනවිට ලෝකය බල කඳවුරු දෙකකට බෙදී ඇතැයි ජගත් දේශපාලන විශ්ලේෂකයෝ පැහැදිලි කරති.


RECOMMEND POSTS