ධුරයෙන් යන්නැයි අගමැතිට බලපෑම්



‘කොවිඩ් 19’ ව්‍යාප්තිය හේතුවෙන් දැඩි සංචරණ සීමා පනවා, රට ලොක්ඩවුන් කර තිබියදී, සෞඛ්‍ය නීති උල්ලංඝනය කරමින්, සාදයක් පැවැත්වූ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් වහා ධුරයෙන් ඉවත් විය යුතු යැයි එරට විපක්ෂය වන කම්කරු පක්ෂය බල කර සිටී.

‍දිගින් දිගටම විපක්ෂයෙන් බලපෑම් එල්ල වෙද්දී, එම සිදුවීම සම්බන්ධයෙන්, පාර්ලිමේන්තුවේ දී සමාව ඉල්ලීමට ද අග්‍රාමාත්‍ය ජොන්සන් පෙරේදා (12) පියවර ගත්තේය.

අග්‍රාමාත්‍ය ජොන්සන්, ඩවුනින් වීදියේ අංක 10 ලිපිනයේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේ ගෙවත්තේ මෙම සාදය පවත්වා ඇත්තේ 2020 මැයි මාසයේය.

සාදයට 100 කට වැඩි පිරිසකට ඇරැයුම් කිරීමට සැලැසුම් කර තිබුණත්, පසුව ඊට ඇරැයුම් කර ඇත්තේ 40 දෙනකුට පමණක් බව ද බි්‍රතාන්‍ය මාධ්‍ය අනාවරණය කර තිබේ. සාදයට ඇරැයුම් යවා ඇත්තේ ඊ මේල් පණිවුඩ ලෙස යැයි ද පැවැසෙයි.

අග්‍රාමාත්‍යවරයාගේ කොන්සවර්ටිව් පක්ෂ රජය විසින් ම පැනැවූ ‘කොවිඩ් 19’ තහංචි උල්ලංඝනය කිරීමට අග්‍රාමාත්‍යවරයා කටයුතු කිරීම ජනතා විශ්වාසය බිඳ දැමීමක් යැයි විපක්ෂය වන කම්කරු පක්ෂය දිගින් දිගටම පාර්ලිමේන්තුවේ දී චෝදනා කරන්න විය. අග්‍රාමාත්‍යවරයා විපක්ෂයෙන් මෙන්ම රටේ ජනතාවගෙන් ද සමාව ඉල්ලීමක් කළේ එම අවස්ථාවේදීය.

“මා දන්නවා, විපක්ෂය ඉන්නේ කේන්තියෙන්, ජනතාව ඉන්නේ කේන්තියෙන්. ඒක සාධාරණයි. රජය දැමූ නීති අගමැති ලෙස මා උල්ලංඝනය කළා යැයි චෝදනා නැගෙනවා. එම චෝදනා සම්බන්ධයෙන් මා විපක්ෂයෙන් සහ ජනතාවගෙන් සමාව ඉල්ලනවා.” යැයි අගමැතිවරයා පාර්ලිමේන්තවේ දී පැහැදිලි කළේය.

කෙසේ නමුත්, අගමැති ජොන්සන් දිගින් දිගටම අවධාරණය කර ඇත්තේ, 2020 මැයි මාසයේ අග්‍රාමාත්‍ය නිල නිවසේ ගෙවත්තේ එළිමහනේ පැවැත්වූයේ සාදය රාජකාරි මට්ටමේ සාදයක් බවත්, පෞද්ගලික සාදයක් නොවන බවත්ය. 

සාදයට සහභාගී කරවාගෙන ඇත්තේ අග්‍රාමාත්‍ය ජොන්ස්නගේ කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් පමණි. ඒ, ඔවුන්ගේ සේවය ඇගැයීමට ලක් කිරීමක් වශයෙන් බව ද පැවැසෙයි. ඊට අමතරව අග්‍රාමාත්‍යවරයාගේ බිරිඳ කැරී සිමොන්ඩ්ස් ද සාදයට සහභාගී වී ඇත. එසේ වුවත්, පැවැත්වෙන අවස්ථාවේදී, බි්‍රතාන්‍යයේ සියලු පාසල්, අවන්හල් ආදිය වසා දමා තිබුණු අතර, ජනතාවට ඒකරාශීවිමට සෞඛ්‍ය අංශ අවසර දී තිබුණේ ද නැත.

සෞඛ්‍ය අංශ උපදෙස් අනුව, දැඩි සංචරණ සීමා පනවමින් රජය ජනතාවට උපදෙස් දී තිබුණේ අත්‍යාවශ්‍ය රාජකාරියක් සඳහා නිවසින් බැහැරව යා හැකි වූයේ සාමාජිකයන් දෙදෙනකුට පමණක් බවත්, ඔවුන් ද නිවසින් බැහැරව යද්දී මිටර් දෙකක දුරස්ථභාවයක් පවත්වා ගනිමින් බවත්ය.

(බීබීසී)


RECOMMEND POSTS