ධාන්‍ය අපනයනයට රුසියාව අවසර දෙයි



කළු මුහුද හරහා යුක්රේනයේ ධාන්‍ය අපනයනය කිරීමට තමන් අවසර දෙන බව රුසියාව පැවැසීය.

යුක්රේනයේ ධාන්‍ය අපනයන කටයුතුවලට බාධා එල්ල වුයේ රුසියන් යුක්රේන යුද්ධය මුල්කොට ගනිමිනි. යුක්රේනයේ වරාය ඇත්තේ රුසියානු හමුදාව සතුවය. එහෙයින් යුක්රේනයට එරට ධාන්‍ය අපනයනය කිරීමට නොහැකි වුණු අතර, එය ලෝක ආහාර අර්බුදයක් නිර්මාණය කිරීමට සමත් විය.

තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් සහ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තොනියෝ ගුටරේස් මැදිහත් වී, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමඟ සාකච්ඡා පවත්වා යුක්රේනයේ ධාන්‍ය සෙසු රටවලට අපනයනය කිරීමට පියවර ගත්තේ මීට සති කීපයකට පෙරය.

යුක්රේනයේ රුසියාවට අයත් ක්‍රිමියා අර්ධද්වීපයේ රඳවා ඇති රුසියන් යුද නැව් සහ නාවික යාත්‍රා ඉලක්ක කර ගනිමින්, පසුගිය 31 වැනිදා ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල විය. එම ප්‍රහාරවලින් රුසියන් යුද නැව්වලට හානි විය. යුක්රේන හමුදාව එම ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කළේ බි්‍රතාන්‍ය හමුදාවේ සහාය ඇතිව යැයි රුසියාව චෝදනා කර තිබේ.

එම චෝදනා ඔප්පු කිරීමට රුසියාවට හැකි වී නැත. එම ප්‍රහාරයෙන් පසු, යුක්රේනයේ ධාන්‍ය අපනයන කටයුතු අවහිර කිරීමට රුසියාව පියවර ගත්තේය. කෙසේ නමුත්, තුර්කිය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත් වී, යළිත් වරක් රුසියාවෙන් ඉල්ලීමක් කළේ ධාන්‍ය අපනයනයට ඉඩ දෙන ලෙසය. රුසියානු රජය එම ඉල්ලීමට කන්දුන් බවත්, යළි යුක්රේනයේ ධාන්‍ය අපනයනට අවසර දුන් බවත් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS