දිල්ලි සෞඛ්‍ය ඇමැතිට කොරෝනාදැයි සැකයක්



තද උණ සහ ස්වසන අපහසුතා හේතුවෙන් ඉන්දියාවේ දිල්ලි ප්‍රාන්ත සෞඛ්‍ය ඇමැති සත්‍යන්දර් ජයින්ස් නවදිල්ලි අගනුවර ‘රජිව් ගාන්ධි’ රෝහලට ඇතුළත් කළ බවත්, ඔහුට ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි සැක කෙරෙන බවත් ඉන්දීය පුවත් සේවා වාර්තා කළේය.

දිල්ලි ප්‍රාන්තයේ බලය ඇත්තේ අරවින්ද් කෙජ්රිවාල්ගේ ‘ආම් ආද්මී’ පක්ෂයට ය. 55 හැවිරිදි වියෙහි පසුවන සත්‍යන්දර් ජයින්ස් ‘ආම් ආද්මී’ පක්ෂයේ ජ්‍යේෂ්ඨ සාමාජිකයෙකි.

රජිව් ගාන්ධි රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය තමන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙන බව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සත්‍යන්දර් ජයින්ස් පවසා තිබුණි.

ලෝකයේ වැඩිම ‘කොවිඞ් 19’ ආසාදිතයන් වාර්තා වන රටවල් 10 අතරේ ඉන්දියාව ද සිටී. ඉන්දියාවේ වැඩිම ආසාදිතයන් වාර්තා වී ඇත්තේ මුම්බායි නුවරින් සහ දිල්ලි ප්‍රාන්තයේ නවදිල්ලි අගනුවරිනි.

නවදිල්ලියේදීය (රොයිටර්)


RECOMMEND POSTS