දලයි ලාමාගේ නියෝජිතයන් හමුවෙලා



දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවට ගිය ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් සහ ටිබෙට් ආගමික නායක දලයි ලාමා තුමන්ගේ ප්‍රධාන නියෝජිතවරයා ඇතුළු ටිබෙට් රජයේ නියෝජිතයන් සහ සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් හමුවී සාකච්ඡා පැවැත්වීය.

ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයා මෙසේ ටිබෙට් නියෝජිතයන් හමුවීම, චීනයේ දැඩි විරෝධයට හේතුවක් වී තිබේ. ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ගේ පරිපාලනය ටිබෙටයේ ස්වාධීනත්වයට ගරු කරන බවත්, ටිබෙටයේ නිදහස වෙනුවෙන් ඇමෙරිකාවේ සහාය නොඅඩුව ලැබෙනු ඇති බවත් ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයා නියෝජිත පිරිස හමුවේ පැහැදිලි කළේය.

දලයි ලාමා නියෝජනය කරමින් ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයා හමුවීමට පැමිණියේ න්ගොප් ඩොංචැන්ග් ය. රාජ්‍ය ලේකම් බ්ලින්කන්, ඉන්දියාවට පිටුවහල් වී සිටින ටිබෙට් රජයේ නියෝජිතයන් සහ ටිබෙට් සිවිල් ක්‍රියාකාරීන් හමුවී වටමේස සාකච්ඡාවක් පැවැත්වූයේ ඩොංචැන්ග් හමුවීමෙන් පසුව යැයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ටිබෙට් රාජ්‍යය තමන්ගේ කොටසක් ලෙස චීනය පිළිගනී. චීනය ටිබෙටය ආක්‍රමණය කරද්දී, ටිබෙට් ආගමික නායක දලයි ලාමා තුමන් ටිබෙටයෙන් පලාවිත්, චීනයේ ධර්මශාලා නුවර ජීවත් වෙයි. ඒ, 1959 වසරේ සිටය. 86 හැවිරිදි දලයි ලාමා බෙදුම්වාදියකු යැයි චීනය සලකයි. මෙතුමන් 14 වැනි දලයි ලාමා වරයාය. චීනයට දලයි ලාමා තර්ජනයක් වන අතර, විදේශ නියෝජිතයන් දලයි ලාමා හෝ ඔහුගේ නියෝජිතයන් හමුවීම චීනයේ දැඩි විරෝධයට හේතුවක් වෙයි.

ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයා සහ පිටුවහල් වී සිටින ටිබෙට් රජයේ නියෝජිතයන් අතරේ පැවැති හමුව සම්බන්ධයෙන්, මාධ්‍යවේදීන්, චීන විදේශ අමත්‍යාංශයේ අදහස් විමසීමක් කළේය. එහිදී චීන විදේශ අමත්‍යාංශය වෙනුවෙන් එහි මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ ටිබෙටයේ කටයුතු චීනයේ අභ්‍යන්තර ගැටලුවක් බවත්, ඊට විදේශ මැදිහත්වීම් අවශ්‍ය නොවන බවත්ය.

(රොයිටර්)


RECOMMEND POSTS