දකුණු අප්‍රිකාවෙන් අසල්වැසි අප්‍රිකා රටවලට එන්නත්



දකුණු අප්‍රිකාව ඔවුන් සතු 'ජොන්සන් ඇන්ඩ් ජොන්සන් 'කොවිඩ් 19' එන්නත් මිලියන දෙකක්, අසල්වැසි අප්‍රිකා රටවලට ලබා දීමට තීරණය කර තිබේ. ඒ, අප්‍රිකානු රටවල 'කොවිඩ් 19' වසංගතය පාලනය කර ගැනීමේ අරමුණින්ය.

අද බොහෝ රටවල් පළමු සහ දෙවැනි එන්නත් මාත්‍රා පමණක් නොව, බූස්ටර් එන්නත් පවා ලබා දීම ආරම්භ කර තිබේ. එවැනි තත්ත්වයක් යටතේ වුවත්, අප්‍රිකා රටවල් බොහොමයක වැසියන්ට තවමත් එක් එන්නත් මාත්‍රාවක් හෝ නොලැබී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දි ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානය, ඇමෙරිකාව, ප්‍රංශය ආදී බටහිර රටවල් අප්‍රිකා රටවලට එන්නත් පරිත්‍යාග කිරීම සිදු කරන නමුත් ඒවා ප්‍රමාණවත් නොවන බව ද පැවැසෙයි. බූස්ටර් මාත්‍රා ලබා දීමට පෙර පළමු හෝ දෙවැනි එන්නත් නිසි වයස් කාණ්ඩය සම්පූර්ණ කළ ලොව සැමට ලබා දීම කළ යුතු බවත්, එසේ නොවුණහොත් 'ඔමික්‍රෝන්' වැනි විකෘති වයිරස තව තවත් බිහිවණු ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය බිය පළ කර තිබේ.

දකුණු අප්‍රිකා රජය සහ එරට සෞඛ්‍ය අමත්‍යාංශය සෙසු අප්‍රිකා රටවලට බෙදා දීමට සැරැසෙන 'ජොන්සන් ඇන්ඩ් ජොන්සන්' එන්නත් තොගයේ වටිනාකම ඇමෙරිකන් ඩොලර් මිලියන 18 කි. 'ජොන්සන් ඇන්ඩ් ජොන්සන්' යනු තනි මාත්‍රාවක එන්නතක් වන අතර, මෙය ඇමෙරිකාවේ 'ජැන්සන්' සමාගමේ නිෂ්පාදිත එන්නතය.

'කොවිඩ් 19' විකෘති අප්‍රිකාවෙන් බිහි වෙද්දී, ඒවා වැළැක්වීමට ප්‍රමාණත් වු බව පැවැසෙන්නේ 'ජොන්සන් ඇන්ජ් ජොන්සන්' එන්නතට පමණි. ඒ අනුව, දකුණු අප්‍රිකානුව 'ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත' මිලදී ගැනීම වැඩි වැඩියෙන් සිදුවිය.

'කොවිඩ් 19 වසංගතයෙන් අප සියලු දෙනා මිදීමට නම්, සියලු දෙනාට එන්නත් ලැබීම සිදුවිය යුතුයි. ඒ නිසයි දකුණු අප්‍රිකාව අපේ අසල්වැසි රටවලට එන්නත් ප්‍රදානය කිරීමට තීරණය කළේ. වසංගතය ඉක්මනින් අවසන් කළොත් ආර්ථික සමෘද්ධියක් කරා අප හැමෝටම පිය නගන්න හැකිවේවි' යැයි දකුණු අප්‍රිකා ජනාධිපති සිරිල් රැම්පෝසා පවසා ඇත. ජනාධිපති රැම්පෝසා මේ වනවිට කේප්ටවුන් නුවර ජනාධිපති මන්දිරයේ නිරෝධායනයට ලක් වී සිටී. ඒ, 'කොවිඩ් 19' ආසාදිතයකු වූ බැවිනි. ජනාධිපති රැම්පෝසා පළමු සහ දෙවැනි එන්නත් මාත්‍රා ලබා ගත් අයෙකි.

(රොයිටර්)


RECOMMEND POSTS