දකුණු අප්‍රිකා පාර්ලිමේන්තුව යළි ගිනි ගනී



දකුණු අප්‍රිකාවේ පාර්ලිමේන්තු ගොඩනැගිලි සංකීර්ණයේ යළිත් ගින්නක් හටගත්තේය. මෙම ගින්න හටගත්තේ පළමු වරට ගින්න හටගෙන පැය 36 ක් ගත වීමට පෙරය.

මෙම දෙවැනි ගින්න ප්‍රධාන ගොඩනැගිල්ලෙන් ආරම්භ වී පසුව සෙසු ගොඩනැගිලිවලට පැතිර ගියේය. දෙවැනි වරට ගින්න හටගත්තේ ද පළමු වරට ගින්න හටගත් පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි වසර 130 ක් පැරැණි ප්‍රධාන ගොඩනැගිල්ලෙනි.

පාර්ලිමේන්තු සභාගර්භය ඇත්තේ ද මෙම ප්‍රධාන ගොඩනැගිල්ලේය. මෙය 1884 වසරේ දී ඉදි කරන ලද්දකි. දෙවැනි ගින්න නිවා දැමීමට ද ගිනි නිවන භටයන් 50 දෙනකු පැමිණ ඇත.

පළමු වරට හටගත් ගින්නෙන් කිසිවකුටත් අනතුරක් සිදු නොවුණත්, පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට සහ සභාගර්භයට ඉහළින් වහලයට දරුණු හානි සිදුවිය. දෙවැනි ගින්න හටගත්තේ එසේ හානි සිදුවී ඇති අවස්ථාවකය. ඒ අනුව සිදුවුණු හානිය අති මහත් බව දකුණු අප්‍රිකා මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. දෙවැනි ගින්නෙන් ද කාටවත් අනතුරක් සිදුවී නැත.

පළමු ගින්න හටගත් අවස්ථාවේදී පොලිසිය ඒ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කළ අතර, එය කඩාකප්පල්කාරී ක්‍රියාවක් බව අනාවරණය කර ගත්තේය. ඒ අනුව, 49 හැවිරිදි පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව ද පැවැසිණි.

දකුණු අප්‍රිකා ජනාධිපති සිරිල් රැම්පෝසා සහ පාර්ලිමේන්තු කතා නායකවරයා මාධ්‍ය හමුවේ කියා සිටියේ එම ගින්න දකුණු අප්‍රිකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වුණු ප්‍රබල ‘ප්‍රහාරයක්‘ බවය. පාර්ලිමේන්තුවට සිදුවුණු හානිය ගැන නොතකා පාර්ලිමේන්තුවේ කටයුතු බාධාවකින් තොරව කරගෙන යන බව දකුණු අප්‍රිකා ජනාධිපති සිරිල් රැම්පෝසා මාධ්‍යවේදීන් හමුවේ පැහැදිලි කර තිබුණි.

(රොයිටර්)


RECOMMEND POSTS