දකුණු අප්‍රිකා ජනපති රුසියන් ජනපති හමුවෙයි



දකුණු අප්‍රිකා ජනාධිපති සිරිල් රැම්පෝසා රුසියාවට ගොස්, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවී, රුසියාව යුක්රේනයට එරෙහිව ගත් හමුදා ක්‍රියා මාර්ගය අවසන් කරන්නැයි ඉල්ලීමක් කළේය.

දකුණු අප්‍රිකා ජනාධිපතිවරයා රුසියාවට ගියේ, රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට සාම නියෝජිතයන් ලෙස තවත් අප්‍රිකානු රටවල් හතක රාජ්‍ය නායකයන් ද පිරිවරා ගනිමිනි.

සාම නියෝජිත කණ්ඩායම රුසියන් ජනාධිපති පුටින් හමුවේ පෙන්වා දුන්නේ, රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරිම සඳහා මැදිහත් වීමට තමන්ට හැකි බවය.

‘යුද්ධය දැන් ඇති. අවසන් කරන්න වෙලාව ඇවිල්ලා. සාකච්ඡා කරමින්, රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් අර්බුදය විසඳා ගැනීම කළ යුතුයි’ යැයි රැම්පෝසා පුටින් හමුවේ පෙන්වා දුන්නේය.
රැම්පෝසා ඇතුළු සාම නියෝජිත කණ්ඩායම, පසුගිය සිකුරාදා (16) යුක්රේනයේ කීව් අගනුවරට ගොස් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ද හමුවී සාකච්ඡා පැවැත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

රුසියාව යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රියාමාර්ගයක් අනුගමනය කළේ 2022 පෙබරවාරියේය. ඒ, යුක්රේනය නේටෝ සංවිධානයේ සාමාජිකත්වය අපේක්ෂා කරන බැවිනි. නේටෝ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය යනු බටහිර රටවල් එක් වී රුසියාවට එරෙහිව පිහිටුවාගත් යුද සන්ධානයයි.

මේ අතර, ඇමෙරිකන් ජනාපධිති ජෝ බයිඩන් පසුගිය දා පෙන්වා දුන්නේ යුක්රේනයට නේටෝ සාමාජිකත්ය ලබා ගැනීම පහසුවෙන් කළ නොහැකි බවය.


RECOMMEND POSTS