දකුණු අප්‍රිකා ජනපති රැම්පෝසා හුදෙකලා වෙයි



'කොවිඩ් 19' ආසාදිතයකු බවට තහවුරු වීමෙන් පසු, දකුණු අප්‍රිකා ජනාධිපති සිරිල් රැම්පෝසා වෛද්‍ය අධීක්ෂණය යටතේ හුදෙකලා වී සිටින බවත්, ඔහුගේ රෝග ලක්ෂණ බරපතල නොවන බවත් ජනාධිපති මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

ජනාධිපති රැම්පෝස්, පූර්ණ එන්නත්කරණයට ලක් වුණු අයෙකි. රැම්පෝසා පසුගිය දා ජොහැන්නස්බර්ග් නුවරට ගියේය. ඒ, හිටපු දකුණු අප්‍රිකා ජනාධිපති දෙ ක්ලාක්ගේ අවමංගල්‍යයට සහභාගීවීටය. රැම්පෝසා යළි කේප්ටවුන් බලා පැමිණියේ දෙසැම්බර් 8 වැනිදාය. එම අවස්ථාවේ ඔහු පීසීආර් පරීක්ෂණයකට ලක්වුණු අතර, ඔහු ආසාදිතයකු වූයේ නැත.

කෙසේ නමුත් වෛද්‍යවරුන් පවසන්නේ, රැම්පෝසා ට 'කොවිඩ් 19' ආසාදනය වී ඇත්තේ ජොහැන්නස්බර්ග් ගිය ගමනේ දී බවය. මේ වනවිට රැම්පෝසා කේප් ටවුන් ජනාධිපති මන්දිරයේ නිරෝධානයේ පසුවන බැවින්, ඔහුගේ කටයුතු උප ජනාධිපති ඩේවිඩ් මබූසාට පැවැරී ඇතැයි ද දකුණු අප්‍රිකා මාධ්‍ය වාර්තා කර තිබේ.

'ඔමික්‍රෝන්' විකෘතිය වේගයෙන් ව්‍යාප්තවන රටක් ලෙස සැලකෙන්නේ දකුණු අප්‍රිකාවය. විකෘතිය පළමුවෙන් හඳුනාගෙන ඒ බව ලොය අනාවරණය කළේ ද දකුණු අප්‍රිකා වයිරස විශේෂඥයන්ය. දකුණු අප්‍රිකා ජනාධිපති රැම්පෝසා ආසාදිතයකු වූ බව දැන ගන්න ලැබීමත් සමඟ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩ්හොම් ගෙබ්‍රියේසිස් ද 'ටිව්ටර්' පණිවුඩ නිකුත් කරමින් ඉක්මන් සුව පතා ඇත.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS