තෙලන්ගනා ප්‍රාන්ත මැතිවරණය ඇරැඹේ



ඉන්දියාවේ තෙලන්ගනා ප්‍රාන්ත මැතිවරණ ඇරැඹිණි. තෙලන්ගනා යනු ඉන්දියාවේ, දකුණු දෙසින් පිහිටි ප්‍රාන්තයකි. හයිද්‍රාබාද් යනු තෙලන්ගනා ප්‍රාන්තයේ අගනුවරය.

අවසන් වරට තෙලන්ගනා ප්‍රාන්ත මැතිවරණය පැවැත්වූයේ 2018 වසරේදීය. ප්‍රාන්තයේ බලයේ සිටින්නේ භාරත් රාෂ්ත්‍ර සමිති පක්ෂයයි. තෙලන්ගනා මහ ඇමැති ධුරය හොබවන්නේ පක්ෂ නායක කේ. චන්ද්‍රසේකර් රාඕ ය.

ප්‍රාන්තයේ දෙවැනි බලවේගය ලෙස සැලකෙන්නේ ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධිගේ කොංග්‍රස් පක්ෂයයි. මෙවර මැතිවරණයේ දී ද භාරත් රාෂ්ත්‍ර සමිති පක්ෂයට දැඩි අභියෝගයක් එල්ල කිරීමට කොංග්‍රස් පක්ෂය බලාපොරොත්තු වෙයි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ හින්දු ජාතිකවාදී ‘භාරතීය ජනතා පක්ෂය’ ද මැතිවරණයට තනිවම ඉදිරිපත් වෙයි. ජයග්‍රහණයක් අපේක්ෂා නොකළත් 2018 වසරේ පැවැති මැතිවරණයට වඩා වැඩි ඡන්ද දිනා ගැනීමට අපේක්ෂා කරන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

තෙලන්ගනා ප්‍රාන්ත සභාව ආසන 119 කින් සමන්විතය. පැවැත්වුණු මැතිවරණයේ ප්‍රතිඵල ලබන දෙසැම්බර් 3 වැනිදා නිකුත් කෙරෙනු ඇතැයි පැවැසෙයි. මැතිවරණයෙන් ද ‘භාරත් රාෂ්ත්‍ර සමිති’ පක්ෂය ජයග්‍රහණය කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.


RECOMMEND POSTS