තිරුපති ප්‍රධාන පූජකවරයා කොරොනාවලින් මරුට
ඉන්දියාවේ සුප්‍රකට තිරුපති කෝවිලේ හිටපු ප්‍රධාන පූජකවරයා වන ශ්‍රීනිවාසමූර්ති දික්ෂතූලු නව කොරෝනා වයිරසය ආසාදිනය වීමෙන් මරණයට පත්විය.
හෙතෙම මිය යනවිට 73 හැවිරිදි වියේ පසු විය. ශ්‍රීනිවාසමූර්ති දික්ෂතූලු පූජකවරයා දශක තුනකට වැඩි කාලයක් තිරුපති කෝවිලේ පූජකවරයකු ලෙස කටයුතු කර ඇත.
ඔහු පසුගිය වසරේදී කෝවිලේ වගකීම්වලින් නිදහස් කර ඇති අතර මිය යනවිට හෙතෙම කෝවිලේ කටයුතුවලට සම්බන්ධ වී නොසිටි බව තිරුපති කෝවිලේ භාරය වන ‘තිරුමාලා තිරුපති දේවස්ථානම්’ හි සභාපති වයි.වී. සුබ්බා රෙඩ්ඩි පැවැසීය.
තිරුපති යනුවෙන් ප්‍රකට ඉන්දියාවේ තිරුමාලා තිරුපති බලාජි කෝවිලේ හිටපු ප්‍රධාන පූජකවරයා නව කොරෝනා වයිරසය නිසා ඇති වූ සංකූලතා හේතුවෙන් මරණයට පත්වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණි.
එම කෝවිලේ පූජකයන් 21 දෙනකු ඇතුළු කාර්යමණ්ඩලයේ 158 දෙනකුට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි ද එම කෝවිල බාර මණ්ඩලය සඳහන් කරයි.
පූජකයන් ඇතුළු කෝවිල් කාර්යමණ්ඩලයේ සාමාජිකයන්ට වයිරසය ආසාදනය වුවද එය වසා දැමීමේ අවශ්‍යතාවක් නැතැයි වයි.වී. සුබ්බා රෙඩ්ඩි මීට පෙර පවසා තිබිණි.
තිරුපති කෝවිල යන ලෝ ප්‍රකට වන්දනා ස්ථානවලින් එකකි. නව කොරෝනා වයිරසය හේතුවෙන් වසා දැමුණු කෝවිල නැවත ආරම්භ කෙරුණි පසුගිය මස 11 වැනිදා ය.
‘‘අපි තත්ත්වය දෙස විමසිල්ලෙන් බලා සිටිනවා. දැනට කෝවිල විවෘත කර තබනවා’’ යැයි රෙඩ්ඩි කීය.
වයිරසය ආසාදනය වූ කාර්යමණ්ඩලයෙන් අඩකට ආසන්න පිරිසක් මේ වනවිට සුවය ලබා ඇතැයි ද ඔහු කීය.
මේ අතර ඉන්දියාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන අද (20) වාර්තා වූ අතර එම ගණන 40,425ක් ලෙස දැක්විණි.
ඒ අනුව අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන 11,18,043ක් දක්වා ඉහළ ගියේය.
එන්.ඩී.ටීවී.