තායිවානයේ යළි කොරෝනා ඉහළට



කොරෝනා ආසාදිතයන් ගණන ඉහළ යෑමට පටන් ගැනීමත් සමඟ සෞඛ්‍ය නිර්දේශ අනුව තහංචි පැනවීමට තායිවාන රජය ඊයේ (17) තීරණය කළේය. ඒ අනුව සිනමා සහ විනෝදාස්වාද ස්ථාන ලබන 28 වැනිදා තෙක් වසා දැමෙනු ඇත.

අවන්හල්වලට ඇතුළත් කර ගන්නා පිරිස් සීමා කිරීමටත් අවන්හල් සහ නිවාස තුළ පවා වරකට එක්රොක් විය හැක්කේ පස් දෙනකුට පමණක් වන අතර එළිමහනේ එක්රොක්විය හැකි පිරිස 10 කට සීමා කෙරේ.

තහංචි පැනවූ සැණින් කලබල වී බඩු බාහිරාදිය ගැනිමට වෙ‍ෙළඳසැල් වෙත නොයන ලෙසත් අත්‍යාවශ්‍ය බඩු බාහිරාදිය ලබා ගැනීමට ඉඩ සලසා දෙන බවත් තායිවාන ජනාධිපති සායි ඉංග් වෙන් පැහැදිලි කර තිබේ.

තායිවානය යනු චීනයට ඔබ්බෙන් පිහිටි දූපත් රාජ්‍යයකි. චීන පාලනයෙන් වෙන් වී වෙනම රාජ්‍යයක් වුවත් චීනය විශ්වාස කරන්නේ තායිලන්තය තවමත් චීනයේ කොටසක් බවය.
2019 වසරේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරින් කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරසය ආරම්භ වීමෙන් පසු මේ දක්වා තායිවානයෙන් වාර්තා වී ඇත්තේ ආසාදිතයන් 1,682 ක් පමණි. මරණ වාර්තා වී ඇත්තේ 12 ක් පමණි. තායිවානයේ ජනගහනට මිලියන 23 කි.

පළමුවෙන් ආසාදිතයන් හමුවෙද්දී තායිවාන සෞඛ්‍ය අංශ වහා ක්‍රියාත්මක වී තායිවාන වැසියන් ආරක්ෂා කිරීමට විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කළේය. එය තවමත් ක්‍රියාත්මක වන අතර දේශපාලන බලපෑමකින් තොරව තීන්දු තීරණ ගැනීමට තායිවාන සෞඛ්‍ය අංශවලට හැකියාවක් තිබේ.

ආසාදිතයන්ගේ අඩුවීමක් පෙන්නුම් කළ නමුත් ආසාදිතයන් සොයමින් සිදු කරන පරීක්ෂණ අඩු නොවුනු අතර, එහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය 16 වැනිදා වනවිට නව ආසාදිතයන් 207 දෙනකු හමුවිය.

නව සෞඛ්‍ය තහංචි පනවමින්, මාර්ගෝපදේශ ක්‍රියාත්මක කරමින්, සංචරණ සීමා පැනවීමට තායිවාන සෞඛ්‍ය බලධාරීන් කටයුතු කළේ ඉන්පසුව යැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

තායිපේහිදීය (රොයිටර්)


RECOMMEND POSTS