තායිවානයට පහර දෙන්න අයිතියක් තියෙනවා



ඕනෑම අවස්ථාවක, තායිවානයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගයක් ගැනීමට චීනයට අයිතියක් ඇතැයි චීන ජනාධිපති ෂී ජින්පින් පවසා ඇත. චීන ජනාධිපතිවරයා මෙසේ පැවැසුවේ, එරට පාලක කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික කොංග්‍රසය අමතමිනි. කොමියුනිස්ට් පක්ෂයේ ජාතික කොංග්‍රසය පැවැත්වෙන්නේ බෙයිජීං අගනුවර මහජන ශාලාවේය.

තායිවානය චීනයට සාමකාමීව එකතු කර ගැනීමට ගත හැකි සෑම උත්සාහයක්ම ගන්නා නමුත්, අවශ්‍ය වුවහොත් හමුදා බලය භාවිත කිරීමට පසුබට නොවන බව චීන ජනාධිපති ෂී ජින්පින් අවධාරණය කර තිබේ. තායිවාන දූපත චීනයට අයිති කොටසක් ලෙස චීනය පිළිගන්නා අතර ලෝකයේ බොහෝ රටවල් තායිවානය ස්වාධින රාජ්‍යයක් ලෙස පිළිගැනීමක් ලබා දී නොමැත.

මීට අමතරව තෙවැනි වරත් කොමියුනිස්ට් පක්ෂයේ සභාපති ධුරයට පත් වීමටත් චීන ජනාධිපති ධුරයේ දිගටම කටයුතු කිරීමටත් සමන් සූදානමින් සිටින බව ද ෂී ජින්පින් අවධාරණය කළේය. චීන හමුදාවේ ශක්තිය වැඩි කරමින්, චීන හමුදාව ලෝකයේ ප්‍රමුඛ පෙළේ හමුදාවක් බවට පත් කිරීමට තමන් පියවර ගන්නා බවත්, හමුදා භටයින් පුහුණු කිරීමේ කටයුතු ඉහළ දමන බවත් චීන ජනාධිපති ජින්පින් ජාතික කොංග්‍රසය හමුවේ අවධාරණය කළේය.

මේ වනවිට ‘කොවිඩ් 19’ වයිරස ආසාදිතයන් සම්බන්ධයෙන්, චීන රජය ගන්නා දලදඬු ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් ද චීන ජනාධිපති ජින්පින් අදහස් දැක්වීය. එම දලදඬු සෞඛ්‍ය නීති කිසිසේත් වෙනස් නොකරන බව ද චීන ජනාධිපතිවරයා කොංග්‍රස් සමුළුව හමුවේ කියා සිටියේය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS