තලේබාන්වරු ජය සමරති



ඇමෙරිකාව ප්‍රමුඛ නේටෝ හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටත්ව යෑමෙන් පසු යළිත් වරක් ඇෆ්ගනිස්තානය තලේබාන්වරුන්ගේ පාලනයට නතුවී තිබේ.

විදෙස් හමුදා පිටවී යෑමේ ප්‍රීතිය සමරමින්, තලේබාන් සංවිධානය පවසා ඇත්තේ ඇෆ්ගනිස්තානය යළිත් වරක් නිදහස් ස්වෛරී රාජ්‍යයක් බවට පත් වුණු බවය.

තලේබාන් මාධ්‍ය ප්‍රකාශක සබිහුල්ලා මුජහීද් පවසා ඇත්තේ තම සංවිධානයේ ජයග්‍රණය කිරීම ඇමෙරිකාවට 'හොඳ පාඩමක්' කියාය. අවසන් ඇමෙරිකන් හමුදා බලඇණිය ද කාබුල් අගනුවර හමීඩ් කර්සායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් පිටවී යෑමෙන් පසු තලේබාන්වරු ගුවන්තොටුපොළට ඇතුළු වූහ.

ඇමෙරිකා හමුදා කාබුල් ගුවන්තොටුපොළෙන් පිටවී ගියේ ඔවුන්ගේ මිල අධික හමුදා උපකරණ බොහොමයක් ඉතිරි කරමිනි. ඒවා තලේබාන්වරුන් අතට පත් වී තිබේ. ඊට අමතරව ඇමෙරිකන් හමුදා ඇෆ්ගන් හමුදාවටත් පොලිසියටත් ලබා දුන් සන්නද්ධ ට්‍රක් රථ, ජිප්රථ, හෙලිකොප්ටර් යානා, ප්‍රහාරක ජෙට් යානා ආදිය ද මේ වනවිට තලේබාන් ග්‍රහණයේ පවතී.

ඇමෙරිකාව ප්‍රමුඛ විදෙස් හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී යද්දී දමා ගිය ගිනි අවි, රාත්‍රියට පෙනෙන ඇස්කණ්ණාඩි ඇතුළු යුදෝපකරණවලින් සමන්විත විශේෂ බලඇණියක් තලේබාන් සංවිධානය විසින් නිර්මාණය කරනු ලැබ තිබේ.

මෙම බලඇණිය බැලූ බැල්මටම තලේබාන් සටන්කාමීන් මෙන් නොව ඇමෙරිකන් හමුදා බලඇණියක් හා සමානය. මොවුන් හැදින්වෙන්නේ 'බද්‍රි 313' බලඇණිය යනුවෙනි. මේවනවිට කාබුල් ගුවන්තොටුපොළේ ආරක්ෂාව ඇත්තේ මොවුන් සතුවය.

(රොයිටර්)


RECOMMEND POSTS