තමිල්නාඩු ශ්‍රී ලාංකිකයන්ට පුරවැසිභාවය



ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට පුරවැසිභාවය ලබාදීම සඳහා එම ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය එම්.කේ. ස්ටාලිං ඉදිරියේදී ඉල්ලීමක් කරනු ඇතැයි වාර්තා වේ.

තමිල්නාඩුවේ සිටින සරණාගතයන්ට සහාය දීම සඳහා ස්ටාලිං ඉකුත් සතියේදී මූල්‍ය පැකේජයක් ද ප්‍රකාශයට පත් කළ අතර සරණාගත කඳවුරු පුනරුත්ථාපන කඳවුරු ලෙස ද නම් කළේ ය.

හෙතෙම මේ සම්බන්ධයෙන් ලංකා කම්කරු කොංග්‍රසයේ (සී.ඩබ්ලිව්.සී.) උප සභාපති සෙන්තිල් තොන්ඩමන් මහතාට ඉරිදා දුරකතන ඇමතුමක් ලබා දී ඇතැයි ද වාර්තා වේ.

ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකික සරණාගතයන්ට සහාය සැපයීම සම්බන්ධයෙන් තමන් එම්.කේ. ස්ටාලිංට ස්තූති කළ බව ද මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී තොන්ඩමන් මහතා කීය.

“ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකික සරණාගතයන්ට පුරවැසිභාවය දෙන්නැයි තමන් මධ්‍යම ආණ්ඩුවට නිර්දේශ කරන බව තමිල්නාඩු මහ ඇමැතිවරයා ප්‍රකාශ කළා. දුරකතන ඇමතුමේදී ඔහු ඒ ගැන තහවුරුවක් දුන්නා” යැයි ද හෙතෙම කීවේය.

මෙම දුරකතන සංවාදයේ දී එම්.කේ. ස්ටාලිං වතුකරයේ ජනතාවගේ සුබසාධනය ගැන විමසූ බව ද තොන්ඩමන් මහතා පැවැසීය.

වතුකරයේ ජීවත් වන බොහෝදෙනා ඉන්දීය සම්භවයක් ඇති ජනතාව ය.

මෙම තීරණයට ශ්‍රී ලංකා ආණ්ඩුවේ සහාය හිමිවේවිදැයි විමසූ විට ශ්‍රී ලංකාව එම තීරණය පිළිගෙන ඇතැයි ද ශ්‍රී ලංකාවට නැවත පැමිණීමට බලාපොරොත්තු වන ජනතාවට ඊට සහාය දෙන බව ද තොන්ඩමන් මහතා තවදුරටත් කීය.

ඊස්වරන් රත්නම්
(ඩේලිමිරර්)


RECOMMEND POSTS