ඩොලර් බිලියන 100 කට අධික ආදායමක්



යුක්රේන යුද්ධයේ මුල් දින 100 දී රුසියාව තෙල් සහ ගෑස් අපනයනවලින් ඇමෙරිකානු ඩොලර් බිලියන 100කට අධික ආදායමක් උපයාගෙන ඇතැයි නවතම වාර්තාවක් උපුටා දක්වමින් බී.බී.සී. පුවත් සේවය වාර්තා කරයි.

ඉකුත් මාර්තු මාසයේ සිට බලශක්ති අපනයනයෙන් රුසියාව ලබන ආදායම් පහත වැටුණ ද සමස්ත අගය ඉහළ මට්ටමක පැවැති ඇත.

බලශක්ති සහ පිරිසුදු වාතය සම්බන්ධයෙන් පර්යේෂණ කරන මධ්‍යස්ථානය (Centre For Research on Energy and Clean Air (CREA)) නිකුත් කළ වාර්තාවක් උපුටා දක්වමින් බී.බී.සී. පුවත් සේවය මේ බව වාර්තා කර ඇත. මෙම මධ්‍යස්ථානයක් ස්වාධීන එකක් යැයි ද පැවසේ.

රුසියාව, යුක්රේනය ආක්‍රමණය කිරීමත් සමඟ ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර රටවල් බොහෝමයක් රුසියාවට සම්බාධක පැනවීය. ඒත් සමඟ රුසියානු අපනයන සීමා කිරීමට ඇතැම් රටවල් පියවර ගත්තේ ය.

රුසියාවට සම්බාධක පැනවීමේ දී සහ රුසියානු ආනයන සීමා කිරීමේදී ලිහිල් තැන් සහ අඩු පාඩු තිබෙන බව ද මෙම මධ්‍යස්ථානය පෙන්වාදෙයි.

යුරෝපා සංගමය, ඇමෙරිකා එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය රුසියානු ආනයන සීමා කළ සහ සම්බාධක පැනවූ පාර්ශව අතර මුල් තැනක් ගනී.

යුක්රේන යුද්ධයේ මුල් දින 100 එනම් පෙබරවාරි 24 වැනිදා සිට ජූනි 3 වැනිදා දක්වා කාලයේ දී ෆොසිල ඉන්ධන අපනයනවලින් රුසියාව ලබා ඇති සමස්ත ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 97කි.

එම ආනයනවලින් වැඩි ප්‍රමාණයක් ගොස් ඇත්තේ යුරෝපා සංගමයට වන අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 61කි. එහි සමස්ත අගය ඇමෙරිකානු ඩොලර් බිලියන 59කි.

බී.බී.සී. ඇසුරිනි


RECOMMEND POSTS