ටෝනේඩෝ තර්ජන



ඇමෙරිකාවේ ආකන්සාස් සහ ඉලිනොයි ජනපද හරහා ටෝනේඩෝ සුළි කුණාටු හමා යෑමෙන් හත් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 50 කට වැඩි යැයි පැවැසෙයි.

ටෝනේඩෝවලින් නිවාස සහ ගොඩනැගිලි රැසකට හානිවුණු බවත්, ගස් කඩා වැටීමෙන් නගර රැසකට විදුලිය බලය අහිමි වුණු බවත් ඇමෙරිකන් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පවසා ඇත.

පසුගිය සතියේ ද බිහිසුණු ටෝනේඩෝවකින් මිසිසිපි ජනපදය කැලැඹිණි. නිවාස 400 කට වැඩි ගණනක් එම ටෝනේඩෝවෙන් විනාශ වුණු අතර, මියගිය ගණන 25 කි.

ආකන්සාස් සහ ඉලිනොයි ප්‍රාන්ත හරහා ටෝනේඩෝ සුළි කුණාටු හමා යද්දී, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්, මිසිසිපි ජනපදය බලා ගොස් සිටියේය. ඒ, මිසිසිපි ජනපදයට බලපෑ ටෝනේඩෝවෙන් සිදුවුණු හානිය සොයා බැලීමට සහ විපතට පත්වූවන් සුවදුක් විමසා බැලීමටය.

ඉලිනොයි ජනපදයේ ඇපලෝ රඟහල ද ටෝනේඩෝවට හසුවිය. රඟහලේ වහලය කඩා වැටුණු බව ද පැවැසෙයි. එම අවස්ථාවේ රඟහල තුළ 250 දෙනකු සිටි බවත්, පස් දෙනකු බරපතගල තුවාල ලැබූ බවත් මාධ්‍ය වාර්තා කර තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS