ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වය පහළට
‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය පාලනය කිරීමට හෝ මර්දනය කිරීමට නිසි ක්‍රමවේදයක් සකස් නොකළේ යැයි චෝදනාවලට ලක් වී සිටින ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වය පහළ වැටී ඇතැයි සමීක්ෂණයකින් තහවුරු වී ඇත.
මෙම සමීක්ෂණය සිදු කර ඇත්තේ ඇමෙරිකන් මාධ්‍ය ආයතන කිහිපයක එකමුතුවෙනි. ජාත්‍යන්තර මාධ්‍ය ආයතනයක් වන රොයිටර් පුවත් සේවය ද සමීක්ෂණයට සම්බන්ධ බව පැවැසෙයි. ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් වයිරසය අවතක්සේරු කළ බවත්, වයිරසය මර්දනයට ඔහු ඉදිරිපත් කළ සැලැසුම් ඇල්මැරුණු ස්වරූපයක් ගත් බවටත් ප්‍රතිවාදී ඩිමොක්රටික් පාක්ෂිකයන් පවා චෝදනා කරයි.
ඇමෙරිකන් සෞඛ්‍ය අංශ වයිරසයේ බිහිසුණු බව පෙන්වා දෙද්දී, ජනපති ට්‍රම්ප් දිගින් දිගටම කියා සිටියේ වයිරසය තවත් ‘පුංචි හෙම්බිරිස්සාවක්’ බවත් එය ඉක්මනින් පහව යනු ඇති බවත්ය.
ඇමෙරිකාව ලොක්ඩවුන් කිරීමට පවා ට්‍රම්ප් මුලදී අදිමදි කළේය. ජනපද මට්ටමින් ලොක්ඩවුන් තහංචි ක්‍රියාත්මක වූයේ එම ජනපද ආණ්ඩුකාරුන්ගේ අභිමතයට අනුවය. එක් අවස්ථාවක මෙය ට්‍රම්ප්ගේ විරෝධයට ද හේතුවක් විය.
වයිරසය ඇමෙරිකාවේ දරුණු ලෙස ව්‍යාප්තවීම සම්බන්ධයෙන් ජනපති ට්‍රම්ප් දොස් නගන්නේ චීනයට සහ ලෝක සෞඛ්‍ය සංවිධානයටය. චීනයේ කීමට කන් දෙමින් චීනයේ පදයට නටන රූකඩයක් යැයි ජනපතිවරයා ලෝක සෞඛ්‍ය සංවිධානයට චෝදනා කර ඇත.
මෙම නොවැම්බරයේ ඇමෙරිකන් ජනාධිපතිවරණය පැවැත්වෙයි. රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරමින්, සිය දෙවැනි සහ අවසන් ධුර කාලය සඳහා ජනපති ට්‍රම්ප් ඉදිරිපත් වෙයි. ට්‍රම්ප්ගේ ප්‍රතිවාදියා ලෙස ජනපතිවරණයට ඉදිරිපත් වන්නේ ඩිමොක්රටික් පක්ෂයේ ජෝ බයිඩන්ය. ජෝ බයිඩන් ඇමෙරිකාවේ හිටපු උප ජනාධිපතිවරයෙකි.
බයිඩන් උප ජනාධිපති ලෙස කටයුතු කළේ බැරැක් ඔබාමා ඇමෙරිකාවේ ජනාධිපති ධුරය හොබවද්දීය. ඔබාමා පවසා ඇත්තේ තමන්ගේ සහාය නොඅඩුව බයිඩන්ට හිමිවන බවය.
මේ අතර, වයිරස ව්‍යාප්තිය පාලනය කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන් ඔබාමා වත්මන් ජනපති ට්‍රම්ප්ට දොස් නගා ඇත. කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ඇමෙරිකාවට දරුණු ලෙස බලපෑම් එල්ල කළේ ට්‍රම්ප් පරිපාලනය, එම වයිරසය අවතක්සේරු කළ නිසා යැයි හිටපු ජනාධිපති බැරැක් ඔබාමා පෙන්වා දී ඇතැයි ද ඇමෙරිකන් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කර තිබේ.
වොෂින්ටනයේදීය (රොයිටර්)