ට්‍රම්ප් නඩුව ඇරැඹේ



වැඩිහිටියන්ට පමණයි ලේබලය යටතේ නිර්මාණය වන චිත්‍රපට සඳහා රංගනයෙන් දායකවන ස්ටෝර්මි ඩැනියෙල්ස්ට කළ ඇමෙරිකානු ඩොලර් 130,000 ක ගෙවීම මහා කුමන්ත්‍රණයක කොටසක් බවත් 2016 වසරේ පැවතී ජනාධිපතිවරණයේදී ඩොනල්ඩ් ට්‍රම්ප්ට හානිකර තොරතුරු සමාජගත වීම වැළැක්වීම සඳහා එම ගෙවීම කර ඇති බවත් ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව අපරාධ නඩු විභාගය ඊයේ(22) ආරම්භ කරමින් පැමිණිල්ල මෙහෙයවන නීතිඥවරුන් ජූරි සභාව ඉදිරියේ ප්‍රකාශ කළේය.

එලෙස ඇමෙරිකානු ඩොලර් 130000 ක මුදලක් ස්ටෝර්මි ඩැනියෙල්ස්ට ගෙවීමේ අරමුණ 2016 ජනාධිපතිවරනයේදී ට්‍රම්ප්ට හානිකර තොරතුරු සමාජගත වීම වළක්වාලමින් වාසියක් ලබා ගැනීම බව පැමිණිල්ල මෙහෙයවන නීතිඥවරුන් ජූරි සභාව ඉදිරියේ පැවැසුවේය.

ජූරි සභිකයින් 18 දෙනෙකු තෝරා පත්කර ගැනීමෙන් අනතුරුව ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාග වන අපරාධ නඩුව ඊයේ (22) නිල වශයෙන් ආරම්භ විය.එහිදී පැමිණිල්ල මෙහෙයවන නීතිඥවරුන් සහ ට්‍රම්ප්ගේ නීතිඥවරුන් ආරම්භක දේශනා සිදු කර ඇත.

එහිදී නැෂනල් එන්ක්වයර්ර් සඟරාවේ හිටපු ප්‍රකාශකයෙකු ප්‍රථම සාක්ෂිකරු ලෙස කැඳවා තිබිණි.ප්‍රථම වතාවට නඩුව පිළිබඳ සිය න්‍යායන් ජූරි සභාව වෙත ඉදිරිපත් කිරීමට ඊයේ (22) දෙපාර්ශවයේ නීතිඥවරුන්ට අවස්ථාව හිමිවිය.

ස්ටෝර්මි ඩැනියෙල්ට 2016 වසරේ පැවතී ජනාධිපතිවරණයට පෙර ඇමෙරිකානු ඩොලර් 130,000 මුදලක් ගෙවීම ඇතුළු එවකට සිදුවූ තවත් මුදල් ගනුදෙනු කීපයක් සම්බන්ධයෙන් අසත්‍ය ව්‍යාපාරික වාර්තා ගොනු කිරීමට අදාළ චෝදනා 34ක් යටතේ මෙම නඩුව ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ගොනු කර ඇත.චෝදනා 34 සඳහාම ට්‍රම්ප් වරදකරු බව අධිකරණය තීරණය කළහොත් ඒ සඳහා ඔහුට වසර 10 කට වැඩි සිර දඬුවමක් නියම විය හැකි බවට නීති විශාරදයෝ මත පළ කළහ.

ඇමෙරිකානු ඉතිහාසය තුළ ජනාධිපති ධුරය දැරූ පුද්ගලයෙකු අපරාධ නඩුවක් සඳහා මුහුණ දෙන ප්‍රථම අවස්ථාවද මෙය වේ.නඩු විභාගය සඳහා තෝරා පත් කර ගත් ජූරි සභිකයින් 18 දෙනාට ස්ථිර ජූරි සභිකයින් 12 දෙනෙකු සහ අතිරේක ජූරි සභිකයින් සය දෙනෙකු ඇතුළත් වේ. 


RECOMMEND POSTS