චීනයට එරෙහිව ලොව පුරා විරෝධතා



චීනය උයිගර් වැසියන් සංහාරය කරන බවටත් ෂින්ජියැන්ග් පළාත කොලොනියක් බවට පත් කරන බවටත් චෝදනා එල්ල කරමින් ඉකුත් සතිය මුළුල්ලේ ලොව පුරා නගර රැසක විරෝධතා පැවැත්විණි.

නැගෙනහිර ටර්කිස්තානය යනුවෙන් හඳුන්වන ප්‍රදේශය කේන්ද්‍ර කරගත් ජාතික ශෝක දිනයක් ඉකුත් සතියට යෙදී තිබිණි. ඊට සමගාමීව මෙම විරෝධතා පැවැත්වුණු අතර චීනය උයිගර් වැසියන් ඉලක්ක කරගනිමින් කරන ප්‍රචණ්ඩ ක්‍රියාවලට එරෙහිව කඩිනම් හා දැඩි පියවර ගන්නැයි විරෝධතාවලට එක්ව සිටි පිරිස් අවධාරණය කළහ.

බලයෙන් පහ කරන ලද ආණ්ඩුවක් ලෙස සැලකෙන නැගෙනහිර ටර්කිස්තාන ආණ්ඩුව සහ නැගෙනහිර ටර්කිස්තාන ජාතික පිබිදීමේ ව්‍යාපාරය මෙම විරෝධතාවල මූලිකත්වය ගෙන තිබිණි.

නැගෙනහිර ටර්කිස්තාන ආණ්ඩුව පාර්ලිමේන්තුවක් ලෙස කටයුතු කරන අතර නැගෙනහිර ටර්කිස්තාන ජාතික පිබිදීමේ ව්‍යාපාරය ලාභ නොලබන සංවිධානයක් ලෙස ක්‍රියාත්මක වේ. මේ දෙකම උයිගර් සහ කසක්ස් ඇතුළු මෙම කලාපයේ ජනතාව නියෝජනය කරන අතර ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් නුවර කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වේ.

චීනය, උයිගර්, කසක්ස්, කිර්ගිස්, සහ අනෙකුත් ටර්කිස්තාන ජනතාව ඉලක්ක කරගනිමින් ප්‍රචණ්ඩ ක්‍රියා සදු කරන බවට චෝදනා කළ අතර ලොව රටවල් මේ සම්බන්ධයෙන් චීනයට එරෙහිව පියවර ගත යුතු බවත් විරෝධතාකරුවෝ අවධාරණය කළහ.

(රොයිටර්)


RECOMMEND POSTS