චීනය සලාක ක්‍රමයට ඩීසල් දෙනවා



මිල ගණන් ඉහළ යෑමත් සැපයුම් පහළ වැටීමත් හේතුවෙන් චීනයේ ප්‍රදේශ රැසක් මේ වනවිට ඩීසල් සලාක නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.

ඇතැම් ට්‍රක් රථ රියදුරන්ට ඉන්ධන නැවත පුරවාගැනීම සඳහා දිනයක්ම බලා සිටීමට සිදුව ඇතැයි චීනයේ ප්‍රධාන සමාජ මාධ්‍ය ජාලයක් වන වෙයිබෝ හි සටහන් ව තිබිණි.

චීනය මේ වනවිට දැවැන්ත බලශක්ති අර්බුදයකට මුහුණ දී සිටින අතර එරට තුළ ගල් අඟුරු සහ ස්වභාවික ගෑස් ද හිඟ වී තිබේ.

මේ හේතුවෙන් චීනයේ කර්මාන්තශාලා වසා දමා ඇති අතර නිවාස රැසකට විදුලි බලය ලැබෙන්නේ නැති බව ද වාර්තා වේ.

චීනය තුළ ඇති වී තිබෙන මෙම බලශක්ති අර්බුදය, ගෝලීය සැපයුම් දාමයේ මේ වනවිට ඇති වී තිබෙන අර්බුදයට තවත් නරක අතට බලපෑම් එල්ල කරනු ඇතැයි ජාත්‍යන්තර බලශක්ති විශ්ලේෂකයෝ කියති.

මෙතෙක් කල් ගෝලීය සැපයුම් අර්බුදයට හේතු වූයේ ‘කොවිඩ්-19’ වසංගතය වන අතර මේ වනවිට ඇති වී තිබෙන බලශක්ති අර්බුදය හේතුවෙන් එම අර්බුදය උග්‍ර වනු ඇතැයි ද ඔවූහු පවසති.

ආර්ථික නැවත විවෘත වීමත් ඉල්ලුම වැඩි වීමත් නිසා ගෝලීය සැපයුම් දාමය තුළ එම අර්බුදය නිර්මාණය විය.

චීනය මේ වනවිට ට්‍රක් රථයකට ලබාදෙන්නේ ලීටර 100ක් එනම් ට්‍රක් රථයේ ඉන්ධන ධාරිතාවෙන් සියයට 10ක් පමණක් බවත් වාර්තා වේ.

ඇතැම් ප්‍රදේශවල රියදුරන්ට ලැබෙන්නේ ලීටර 25ක් පමණක් බවත් ඇතැම් ප්‍රදේශවල සීමා ඊටත් වඩා දැඩි බවත් වාර්තා වේ.

(බී.බී.සී.)


RECOMMEND POSTS