චීනය සමඟ සාකච්ඡා කරනවා



චීනය තරහා කර ගැනීමේ කිසිදු වුවමනාවක් නැතැයි තායිවාන අග්‍රාමාත්‍ය සු ත්සෙන්ග් චාන්ග් පවසයි. සමානාත්මතාව සහ කිසිදු පූර්ව දේශපාලන කොන්දේසියකින් තොරව චීනය සමඟ සාකච්ඡා කිරීමට සූදානම් යැයි ද හෙතෙම කීය.

තායිවානය ප්‍රජාතන්ත්‍රවාදීව පාලනය වන අතර තායිවානය තමන්ගේ රටේ කොටසක් යැයි චීනය අවධාරණය කරයි. කෙසේ නමුත් පසුගිය කාලයේ දී දෙරට අතර සම්බන්ධතා ඉතාම නරක අතට හැරිණි.

තම ස්වාධිපත්‍යය සහ ස්වෛරීත්වය පිළිගන්නැයි චීනය බල කරන අතර පසුගිය කාලයේ දී දේශපාලනිකව සහ හමුදාමය වශයෙන් කරන ලද එවැනි බලකිරීම් උත්සන්න විය.

තායිවානය සාමකාමී ලෙස නැවත එක්සේසත් කරගැනීමට අපේක්ෂා කරන බව සිංගප්පූරුවේ පැවැති ආරක්ෂක සමුළුවේදී චීන ආරක්ෂක අමාත්‍යවරයා මේ අතරවාරයේදී පැවැසීය.

ආරක්ෂක කරුණු මුල් කරගනිමින් තායිවානයෙන් මාළු වර්ගයක් (ගෲපර් ෆිෂ්) ආනයනය කිරීමට නැවැත්වීමට චීනය පියවර ගත්තේ ය. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් තායිවාන අග්‍රාමාත්‍යවරයා ඉහත කරුණු සඳහන් කළේ ය.

මාළු ආනයනය නැවැත්වීමට චීනය පියවර ගෙන ඇත්තේ දේශපාලන වුවමනාවක් මත යැයි කී තායිවාන අග්‍රාමාත්‍යවරයා තායිවානය සෑම විටම චීනය දෙස හොඳ හිතින් බලන බව ද කීවේ ය. “සමානාත්මතාව, අන්‍යෝන්‍ය ගෞරවය සහ විශ්වාසය, මෙන්ම දේශපාලන පූර්ව කොන්දේසි නැතිතාක් අප චීනය සමඟ හොඳ හිතින් වැඩ කරන්න සූදානම්” යැයි ද තායිවාන අග්‍රාමාත්‍යවරයා කීය. තායිවාන ජනාධිපති ත්සායි ඉන්ග් වෙන් ද මේ බව අවස්ථා ගණනාවකදී ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත.

(රොයිටර්)


RECOMMEND POSTS