චීනය යළි ජාත්‍යන්තර ගුවන් ගමන් අරඹයි



‘කොවිඩ් 19’ වසංගතය හේතුවෙන්, වසර දෙකක තහනමකින් පසු, චීනය ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා අවසර ලබා දී තිබේ.

‘කොවිඩ් 19’ වසංගතයේ ආරම්භය සිදුවූයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙනි. ඒ, 2019 වසර අවසානයේය.

චීනය සිය ජාත්‍යන්තර ගුවන්ගමන් සඳහා තහනමක් පැනැවීම කළේ චීනයෙන් වයිරසය වෙනත් රටවලට ව්‍යාප්තවීමත්, වෙනත් රටවලින් විකෘති වයිරස ප්‍රභේද චීනයට පැමිණීමත් වළක්වා ගැනීමටය.

වසර දෙකකට පසු, චීනය යළි ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කර ඇත්තේ, ආසාදිතයන් සඳහා නිරෝධායන කාල සීමාව දින 7 කට අඩු කිරීමෙනි. චීනයට පැමිණෙන විදේශිකයන් ‘කොවිඩ් 19’ ආසාදිතයන් බව තහවුරු වුවහොත් ඔවුන් දින 7 ක් හෝටල කාමරවල නියෝධානය විය යුතුය.

ආරම්භයේ පටන් චීනයේ ප්‍රතිපත්තිය වන්නේ, සෑම ‘කොවිඩ් 19’ ආසාදිතයකුම හඳුනා ගෙන ඔවුන් වෙන්කර සමාජයෙන් ‘කොවිඩ් 19’ තුරන් කිරීමය.

ලක්ෂ ගණනක් වෙසෙන පළාත් සහ නගර මුළුමනින්ම ලොක්ඩවුන් කර සෑම කෙනකුම ‘කොවිඩ් 19’ පරීක්ෂණ සඳහා යොමුකර ආසාදිතයන් සහ ආශ්‍රිතයන් හඳුනා ගැනීම සහ ඔවුන් නිරෝධායනයට යොමු කිරීම ඒ අනුව සිදුවෙයි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS