චීන වයිරස බැංකුව පරීක්ෂා කරන්න ඕනෑ



‘කොවිඞ් 19’ වයිඑසය පැතිරීම ආරම්භ වුණු චීනයේ වූහාන් නුවර පිහිටි ‘චීන වයිරස බැංකුව’ යන නමින් හැඳින් වෙන රසායනාගාරය පරීක්ෂාවට ලක් කළ යුතු යැයි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් මයික් පොම්පේඕ ඊයේ (22) යළිත් වරක් අවධාරණය කළේය.

වයිරසය හිතාමතා හෝ අත්වැරදීමකින් හෝ සමාජයට මුදා හැරුණේ හෝ කාන්දු වූයේ මෙම රසායනාගාරයෙන් යැයි ඇමෙරිකන් බුද්ධි අංශ චෝදනා කර තිබේ. ආසියාවේ විශාලතම වයිරස බැංකුව ලෙස සැලකෙන්නේ ද මෙම රසායනාගාරයයි.

අධි ආරක්ෂාවක් යටතේ මෙම රසායනාගාරය ඉදි කිරීම ඇරැඹුණේ 2015 දීය. මෙය විවෘත කර ඇත්තේ 2018 දීය. මෙම රසායනාගාරයට ඇතුළුවීමට අවසර ඇත්තේ අතලොස්සකට පමණය. වසූරිය, පැපොල, සරම්ප පමණක් නොව, සර්ස්, මර්ස් වැනි කොරෝනා වයිරස වර්ග ද මෙතෙක් නම් දමා නොමැති හඳුනා ගෙන නොමැති කොරෝනා වයිරස සහ වෙනත් වයිරස විෂබීජ ද මෙම රසායනාගාරයේ තැම්පත් කර තිබේ.

ඇමෙරිකන් බුද්ධි අංශ අනුමාන කරන අන්දමට, 1500 කට අධික වයිරස එකතුවක් මෙහි ඇති අතර, වර්ග මීටර 3,000 ක වපසරියකින් යුත් රසායනාගාරයේ, වයිරස සාම්පල රඳවා ඇත්තේ සිලින්ඩරාකාර අධිආරක්ෂිත කොටසක් තුළය. රසායනාගාරයේ අරමුණ වයිරස අධ්‍යයන කටයුතු සඳහා මිසක් ජෛව රසායනික අවි නිපදවීමේ නොවන බව චීනය තරයේ පවසා ඇත.

වොෂින්ටනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS