චීන ජනපතිගේ විශේෂ නියෝගයක්



චීන හමුදාවලට විදේශවලදී “යුදමය” නොවන විශේෂ මෙහෙයුම් කරගෙන යෑමට හැකි වන පරිදි එරට ජනාධිපති ෂී ජින්පින්ග් විශේෂ නීති කිහිපයකට අත්සන් තබා ඇත.

මේ අනුව චීන හමුදාවලට විදේශවලදී “විශේෂ සන්නද්ධ මෙහෙයුම්” ක්‍රියාත්මක කිරීමට හැකියාවන ලැබෙනු ඇතැයි වාර්තා වේ.

චීනය ඉකුත් දිනෙක සොලොමන් දූපත් සමඟ ද විශේෂ ආරක්ෂක ගිවිසුමකට අත්සන් තැබූ අතර චීන ජනාධිපතිවරයා මෙම නව නීති හඳුන්වා දෙමින් ඊට අත්සන් තබා ඇත්තේ ඊට පසුව බව වාර්තා වේ.

චීනය මෙම නව නීති තුළින් තායිවානය ආක්‍රමණය කරනු ඇතැයි ඇතැම් පිරිස් බිය පළ කරති.

“විශේෂ මෙහෙුයමක්” ක්‍රියාත්මක කරමින් ඔවුන් එසේ කරනු ඇතැයි ද එය යුද්ධයක් ලෙස වර්ගීකරණය නොකරනු ඇතැයි ද එම පිරිස් පෙන්වාදෙති.

චීන මාධ්‍යවලට අනුව මෙම නව නීති ජූනි මස 15 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිත ය.

මෙම නව නීති හඳුන්වාදීමත්, ඊට අදාළ වාර්තා, ප්‍රවෘත්ති සහ විවේචන මෙන්ම බිය පළ කිරීම් යනාදි සියල්ල ඇති වූයේ ෂැංග්‍රිලා ආරක්ෂක සංවාදයේ දී යුක්රේන ජනාධිපති ව්ලැදිමීර් සෙලෙන්ස්කිගේ අදහස් දැක්වීමෙන් පසුව වීම ද විශේෂත්වයකි.

ෂැංග්‍රිලා ආරක්ෂක සංවාදය සිංගප්පූරුවේ දී පැවැත්වුණු අතර යුක්රේන ජනාධිපතිවරයා විඩියෝ තාක්ෂණය ඔස්සේ ඊට සහභාගී විය.

තායිවාන සමුද්‍ර සන්ධියේ ක්‍රියාත්මක වන සන්නද්ධ ක්‍රියාකාරකම් යුක්රේනයට තර්ජනයක් යැයි ද ඊට රාජ්‍ය තාන්ත්‍රික විසඳුමක් දෙන්නැයි ද යුක්රේන ජනාධිපතිවරයා මෙහිදි ඉල්ලීය.

යුද්ධය නවත්වන ඕනෑම ක්‍රියාමාර්ගයකට සහාය දෙන බව යුක්රේන ජනාධිපතිවරයා කීය.

ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා ද මේ තත්ත්වය සම්බන්ධයෙන් ඉකුත් සිකුරාදා අනතුරු ඇඟවීය.

“අද යුක්රේනයට අත් වූ ඉරණම හෙට නැගෙනහිර ආසියාවට අත්වෙන්න පුළුවන්” යැයි ද හෙතෙම පැවැසීය.

මේ මස මුලදී පැවැති ෂැංග්‍රිලා ආරක්ෂක සංවාදයේ දී යුක්රේනයේ පවතින යුද්ධය ප්‍රධාන මාතෘකාවක් බවට පත්විය.

(ඒ.එන්.අයි.)


RECOMMEND POSTS