චීන ගගනගාමීහු ආපසු එති



'ටියැංගොන්' අභ්‍යවකාශ නැවැතුම්පොළේ ඉදිකිරීම් කටයුතුවල නියැළෙමින්, දින 183 ක් පෘථිවි කක්ෂයේ රැඳී සිටි චීන ගගනගාමීහු තිදෙනා යළි පෘථිවියට පැමිණියහ.

එම ගගනගාමීන් තිදෙනා අතරේ පිරිමි දෙදෙනකු සහ කාන්තාවක වෙයි. ඔවුන් ෂායි ෂී ගැංග්, යේ ගන්ග් ෆූ සහ වැංග් යැපිංග් ය. චීනය පෘථිවි කක්ෂයේ නිපදවන 'ටියැංගොන්' අභ්‍යවකාශ නැවැතුම්පොළේ  ඉදිකිරීම්වලට සම්බන්ධ වූ පළමු කාන්තාව ලෙස වැංග් යැපිංග් සැලකෙයි.

ගගනගාමීන් රැගත් 'ෂෙංසූ 13' ගගන කැප්සියුලය පෙරේදා (16) යළි පෘථිවියට පතිත වීම සිදුවිය. කැප්සියුලය මොංගෝලියාවට පතිත වූ අතර චීන අභ්‍යවකාශ ආයතනයේ බලධාරීහු සහ හමුදා නිලධාරීහු එය පැමිණෙන තෙක් බලා සිටියහ.

මොවුන් තිදෙනා මීට මාස 6 කට පෙර පෘථිවි කක්ෂය බලා ගොස් 'ටියැංගොන්' අභ්‍යවකාශ නැවැතුම්පොළේ  අයත් 'ටියැංහේ' නමැති ප්‍රධාන කොටස (මොඩියුලය) උඩු ගුවනට යවා තිබුණු සෙසු කොටස් සමඟ එකලැස් කිරීම සිදු කළේය.
චීන අභ්‍යවකාශ ආයතනය පෙන්වා දී ඇත්තේ 2022 වසර අවසන් වෙද්දී ඔවුන් 'ටියැංගොන්' අභ්‍යවකාශ නැවැතුම්පොළේ  ඉදිකිරීම් සම්පූර්ණ කරන බවය. මෙය ප්‍රමාණයෙන් කුඩා අභ්‍යවකාශ නැවැතුම්පොළකි.

බටහිර රටවල් සමඟ පවතින මත ගැටුම් හේතුවෙන් චීනය, අභ්‍යවකාශයේ රඳවා ඇති ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළ භාවිතයට නොගනී. චීනය ඔවුන්ගේ තාක්ෂණය භාවිතයෙන් ඔවුන්ටම කියා 'ටියැංගොන්' යන නමින් අභ්‍යවකාශ නැවැතුම්පොළේ  ඉදි කරන්නේ ඒ අනුවය.

2029 වසර වෙද්දී චීනය සඳ ගවේෂණයට පමණක් නොව, සඳ මත ජනාවාස පිහිටුවීමට පවා බලාපොරොත්තු වෙයි. එම කටයුතු සඳහා අතරමැදි නැවැතුම්පොළක් ලෙස 'ටියැංගොන්' ක්‍රියාත්මක වනු ඇතැයි පැවැසෙයි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS