ඝානා රාජ්‍යයේ මහා පිපිරුමක්



අප්‍රිකාවේ ඝානා රාජ්‍යයේ සිදුවුණු අති ප්‍රබල පිපිරුමකින් පුද්ගලයෝ 20 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වී, 50 වැඩි පිරිසක් තුවාල ලැබූහ.

පිපිරුම සිදුවූයේ පතල් කැණිම් සිදු කෙරෙන බටහිර ඝානාවේ බොගෝසෝ නමැති නගරය ආසන්නයේය. පතල් කැණීම් සඳහා අවශ්‍ය ඩයිනමයිට් ඇතුළු පුපුරන ද්‍රව්‍ය පුරවාගත් ට්‍රක් රියක් සහ අපරීක්ෂාකාරී අන්දමින් ධාවනය වුණු යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් මෙම පිපිරීම සිදුවුණු බව පැවැසෙයි.

පිපිරුමෙන් අවට නිවාස සහ ගොඩනැගිලි මුළුමනින්ම සුන්බුන් බවට පත් වුණු අතර නිවැසියන් එම සුන්බුන් යට සිරවුණු බව ද පැවැසෙයි. තුවාල ලබා සුන්බුන් අතරේ සිරවුණු පිරිස් උදවු ඉල්ලා කෑ ගසන ආකාරය වීඩියෝ දසුන් ඔස්සේ දකින්න ලැබුණි.

පිපිරුම සිදුවුණු ස්ථානයේ විශාල ආවාටයක් ද නිර්මාණය වී ඇත. මියගිය සහ තුවාල ලැබූවන් තවත් ඉහළ යා හැකි යැයි පොලිසිය කියයි. නිවාස අහිමි වුණු පිරිස වෙනුවෙන් අසල පාසල් සහ පල්ලියක සහන කඳවුරු පිහිටුවා තිබේ.

ඝානා ජනාධිපති නානා අකුෆෝ අඩෝ මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ තත්ත්වය පාලනය කිරීමට සහ විපතට පත්වූවන්ට සහාය දීමට හමුදාව යෙදවුණු බවය. ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට සහාය වෙමින්, සහන සේවා කටයුතු කඩිනම් කිරීම හමුදාවේ අරමුණ වනු ඇතැයි ද ජනාධිපතිවරයා පැහැදිලි කළේය. ‘ඒක සැබැවින්ම, ඉතාමත් කනගාටුදායක, අවාසනාවන්ත අනතුරක්’ යැයි ජනාධිපති නානා අකුෆෝ අඩෝ ට්විටර් පණිවුඩයක් මගින් දන්වා ඇත.

(රොයිටර්)


RECOMMEND POSTS