ගෝනී සුළි කුණාටුව පිලිපීනයට කඩාවදී
ගෝනී යන නමින් නම් කළ ප්රචණ්ඩ සුළි කුණාටුව, දකුණුදිග පිලිපීනයට කඩා වැදුණි. වසර ගණනාවකින් පිලිපීනයට කඩා වැදුණු ප්‍රචණ්ඩතම සුළි කුණායුව මෙය යැයි එරට පුවත් සේවා වාර්තා කර තිබේ.
පිලිපීන කාලගුණ විද්‍යාඥයන් පවසන්නේ මෙම සුළි කුණාටුව ප්රචණ්ඩය අතින් පස්වැනි ගණයට වැටෙන එකක් බවය. ගෝනී හමා ආ බව පැවැසෙන්නේ පැයට කිලෝ මීටර් 215 ක වේගයකිනි.
මීට පෙර පිලිපීනයට මෙවැනි ප්රචණ්ඩ සුළි කුණාටුවක් කඩා වැදුණේ 2013 දී බවත් එය හයියාන් සුළි කුණාටුව බවත් පැවැසෙයි. හයියාන් සුළි කුණාටුව 6,300 කට වැඩි පිරිසක් බිලිගත්තේය.
ගෝනී සුළි කුණාටුව පැමිණෙන බව කල්තියා අනතුරු ඇඟවීම් සිදු කළ බැවින්, වෙරළ තීරයේ පදිංචි මිලියනයකට වැඩි පිලිපීන වැසියන් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කෙරුණි. ඒ, හමුදාවේ ද මැදිහත් වීමෙනි.
ගෝනී සුළි කුණාටුව පිලිපීනයට කඩා වැදුණේ පිලිපීනය කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරසයෙන් පීඩා විඳින අවස්ථාවකය. සහන කඳවුරුවලට ජනතාව යොමු කිරීමත් සමඟ වයිරසය තව තවත් පැතිරෙනු ඇතැයි බියක් හටගෙන තිබේ. පිලිපීනයෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 3,80,000 ක් වන අතර මරණ වාර්තා වන්නේ 7,000 ක් ලෙසිණි.
මැනිලා අගනුවරදීය (රොයිටර්)