ගෙදරට වෙලයි ඉන්න වෙන්නේ



එලැඹෙන ජනාධිපතිවරණයෙන්, ප්‍රතිවාදී අපේක්ෂක ජෝ බයිඩන් ජයග්‍රහණය කළහොත්, ඔහුගේ සෞඛ්‍ය ප්‍රතිපත්ති අනුව, ඇමෙරිකානුවන්ට අසරණව නිවෙස්වල කොටු වී සිටීමට සිදුවනු ඇතැයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙසේ පැවැසුවේ, තමන් ජනපති ධුරයට පත්වුවහොත්, වයිරසය ව්‍යාප්තිය පාලනය කිරීමට රට ලොක්ඩවුන් කරමින්, මුහුණු ආවරණ අනිවාර්ය කරනවා යැයි ජෝ බයිඩන් පවසා ඇති නිසාය.

ට්‍රම්ප් මෙසේ පැවැසුවේ, ෆ්ලොරීඩා රැලියකදීය. ඇමෙරිකාවේ තෙවැනි විශාලතම ජනගහනයක් ඇත්තේ ෆලොරීඩා  ජනපදයේය. එහෙයින්, ජනාධිපතිවරණයේ දී ෆ්ලොරීඩා ජනපදය ජයග්‍රහණය කිරීමට ට්‍රම්ප්ට විශාල වාසියක් වනු ඇත.

ප්‍රතිවාදී ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන් පවසා ඇත්තේ, ඔහු ජනපති ධුරයට පත්වුවහොත් පළමු දිනයේ පටන් කොරෝනා වයිරස ව්‍යාප්තියට එරෙහිව සටන් වදින බවය. එසේ කිරීමට, ජාතික මට්ටමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන බවත්, මුහුණු ආවරණ අනිවාර්ය කරන බවත්, ඇමෙරිකාව ලොක්ඩවුන් කිරීමට පවා පසුබට නොවන බවත් බයිඩන් පවසා ඇත.

හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරමින්, තහංචි පැනැවීම් කළත්, ඇමෙරිකාව ලොක්ඩවුන් කිරීමට ට්‍රම්ප් කටයුතු කර නොමැති අතර ඉදිරියේදී ද එසේ කිරීමට බලාපොරොත්තුවක් නැති බව ද ට්‍රම්ප් පවසා තිබේ. කැමැති අයකුට මුහුණු ආවරණ පැලදිය හැකි බවත්, මුහුණු ආවරණ පැලදීම අනිවාර්ය නොකරන බවත් ට්‍රම්ප් පවසා තිබේ.

ඇමෙරිකා ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ ලබන 3 වැනිදාය. කොරෝනා වයිරස වසංගතය හමුවේ පැවැත්වෙන බැවින්, සෞඛ්‍ය උපදෙස් අනුව, ජනාධිපතිවරණය සඳහා වැයවන මුදල ඇමෙරිකන් ඩොලර් බිලියන 14 ක් බව පැවැසෙයි. ඇමෙරිකන් ජනපතිවරණ ඉතිහාසයේ වැඩිම මුදලක් වැය කරමින් පැවැත්වෙන ජනාධිපතිවරණය මෙය යැයි ද ඇමෙරිකන් පුවත් සේවා පෙන්වා දී තිබේ.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී)


RECOMMEND POSTS