ගූගල් මැප්ස් මරුවා කැදවයි



ගූගල් මාර්ග සිතියම මාරයා ළඟට පාර පෙන්වූ පුවතක් පසුගියදා ඉන්දියාවෙන් වාර්තා වුවත් මෝටර් රථ අනතුරක් සඳහා මාර්ගය පෙන්වා දෙන වැඩසටහනකට වගකීම පැවැරිය හැකිදැයි මේ වනවිට කා අතරත් කතා බහට ලක්ව ඇත.

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ නොයිදා නගරයේ විවාහ උත්සවයට සහභාගී වූ පිරිසක් ෆරිද්පූර් නගරය බලා මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී මෝටර් රථය වැඩ අවසන් නොකළ පාලමකින් බිමට වැටීම හේතුවෙන් තිදෙනකු මරණයට පත්වූ අතර ඔවුන් ගූගල් සිතියම ආධාරයෙන් ගමන් කරමින් සිට ඇතැයි විමර්ශනවලදී අනාවරණය විය.

අනතුරින් සහෝදරයන් තිදෙනකු අවාසනාවන්ත ලෙස මියගිය අතර අනතුර සම්බන්ධයෙන් සහකාර ඉංජිනේරුවරුන් දෙදෙනකුට, කනිෂ්ඨ ඉංජිනේරුවන් දෙදෙනෙකුට සහ නම හෙළි නොකළ ගූගල් මාර්ග සිතියමේ ඉන්දියාවේ නියෝජිතයකුට එරෙහිව ප්‍රාන්ත පොලිසිය චෝදනා ගොනු කළේය.

වහාම ක්‍රියාත්මක වෙමින් අනතුර සම්බන්ධයෙන් ශෝකය පළ කරමින් ගූගල් සමාගම නිවේදනයක් නිකුත් කළ අතර අනතුරේ සුලමුල සොයා ගැනීම සඳහා සම්පූර්ණ සහාය ලබා දෙන බවද පැවැසුවේය.

තවමත් එහි විමර්ශන අවසන් වී නොමැති බවත් මියගිය තරුණයන් තිදෙනාට අත්වූ අවාසනාවන්ත ඉරණමට වගකිව යුත්තේ ගූගල් මාර්ග සිතියමද යන්න විමර්ශන අවසානයේ දැනගත හැකි බවත් උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත පොලිසිය ප්‍රකාශ කළේය.


RECOMMEND POSTS