ගිනි කන්දක් පිපිරේ: රටවල් රැසකට සුනාමි



පැසිෆික් සාගරයේ, නවසීලන්තය අසල පිහිටි ටොංගා දූපත් රාජ්‍යයට නුදුරින් මුහුදු පතුළේ යමහලක් (ගිනිකන්දක්) සක්‍රීය වී පුපුරා යෑමත් සමඟ පැසිෆික් සාගර කලාපයේ රටවල් රැසකට සුනාමි රළ කඩා වැදුණි.

ගිනි කන්ද පුපුරා ගියේ මහා හඬකිනි. එම හඬ ද පැසිෆික් සාගර රටවලට ඇසුණු බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. ගිනි කන්ද ආසන්නයේ පිහිටි ටොංගා දූපත් පිපිරීමෙන් දෙදරා ගියේය. ටොංගා වැසියෝ මහත් සේ බියට පත් වූහ.

ටොංගා දූපත් රාජ්‍යයට කුඩා දූපත් 170ක් අයත් වෙයි. එයින් ප්‍රධාන දූපත ටොංගටාපුය. ටොංගා අගනුවර ලෙස සැලකෙන්නේ නුකුවලෝෆා ය. 2020 සිදු කළ සංගණනයකට අනුව ටොංගා ජනගහනය 1,05,700 කි.
සුනාමි රළ නැගී ආවේ ගිනි කන්ද පිපිරී මිනිත්තු 8 ක් යද්දීය. ටොංගා දූපත්වලට අඩි 4 ක සුනාමි රළ කඩා වැදුණි. එම දසුන් මේ වනවිට විදෙස් මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී අවසන්ය.

සුනාමි රළ කඩා වදිද්දී, එයින් බේරීමට ටොංගා දූපත් වැසියන් බියෙන් උස් ස්ථාන බලා පලා දුවන්න වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. නුකුවලෝෆා අගනුවර පල්ලියක්, නිවාස සහ ගොඩනැගිලිවලට සුනාමියෙන් හානි සිදුවිය. ජීවිත හානි කිසිවක් වාර්තා නොවිණි.

නිවාස අහිමි වුණු ටොංගා වැසියන් ආපදා මධ්‍යස්ථාන වෙත යොමු කර ඇතැයි බලධාරීහු පවසති. මුහුදු පතුලේ ගිනි කන්ද පිපිරීම උඩු ගුවනේ ඇති චන්ද්‍රිකාවලට පවා දකින්න ලැබුණි. ගිනි කන්දේ චන්ද්‍රිකා ඡායාරූප පවා මේ වනවිට විදෙස් මාධ්‍ය ඔස්සේ දකින්න ලැබේ. ගිනි කන්දෙන් නිකුත් වුණු දුමාරය කිලෝ මීටර් 20 ක් දුරට විසිරුණු බව ද පැවැසෙයි.

සුනාමි රළ නවසීලන්තය, ඇමෙරිකාව සහ ජපානය තෙක් විහිදී පැතිරී ගියේය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගිනි කන්දේ පිපිරීම කිලෝ මීටර් 800 ක් දුරින් පිහිටි ෆීජී දූපතට පවා අසන්න ලැබුණු බවය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS