ගැටලුවක් ඇති නම් ඇමෙරිකාවට කියන්න



රුසියාවෙන් ආහාර සහ පොහොර ආනයනය කිරීමේදී යම් ගැටලුවක් ඇත්නම් එම රටවල් ඒ බව ඇමෙරිකා එක්සත් ජනපදයට දන්වන්නැයි එරට ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් බදාදා (23) පැවැසීය.

ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ආර්ථික සහ ව්‍යාපාරික කටයුතු පිළිබඳ කාර්යාංශයේ සහකාර ලේකම් රමින් ටොලුයි මේ බව කීය.

යම් කිසි රටක් රුසියාවෙන් ආහාර හෝ පොහොර ආනයනය කිරීමේදී යම් ගැටලුවකට මුහුණ දෙන්නේ නම් අදාළ රටවලට ඒ සම්බන්ධයෙන් සහාය දීමට ඇමෙරිකා එක්සත් ජනපදය සූදානම් බවත් රුසියාවට පනවා තිබෙන සම්බාධකවලට ආහාර සහ පොහොර යනාදී භාණ්ඩ ඇතුළත් නොවන බවත් හෙතෙම කීවේය.

යුක්රේන යුද්ධය මුල් කරගනිමින් ඇමෙරිකා එක්සත් ජනපදය රුසියාවට සම්බාධක පනවා ඇත.

“රුසියාවෙන් ධාන්‍ය වර්ග හෝ පොහොර හෝ ගෙන ඒමට කිසිදු බාධාවක් නැහැ. බාධාවක් තිබෙනවා නම් ඒ ඔවුන්ගේ ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ග පමණක්” යැයි ද රමින් ටොලුයි කීය.

සම්බාධකවලට වුවමනාවටත් වඩා අනුකූල වීමට හේතුවෙන් යම් ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇති බව හෙතෙම කීවේය.

රුසියාව, ඉකුත් පෙබරවාරි මස 24 වැනිදා යුක්රේනය ආක්‍රමණය කළේ ය. ඒ අනුව ඊට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ඇමෙරිකා එක්සත් ජනපදය, රුසියාවට එරෙහිව සම්බාධක පැනවීය. මෙම සම්බාධක පැති රැසක් ආවරණය වන පරිදි පනවා ඇත.

කෙසේ නමුත් ධාන්‍ය වර්ග ආනයනය කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදය ලිහිලක් ලබා දී තිබෙන අතර රුසියාව සමඟ සාකච්ඡා කිරීමේදීත් ඔවුන් සමඟ එකඟතා ගිවිසුම්වලට එළැඹීමේදීත් ප්‍රධාන කරුණක් බවට පත්ව ඇත්තේ රුසියාවෙන් ආහාර සහ ධාන්‍ය වර්ග ආනයනය කිරීම ය.

එක්සත් ජාතීන්ගේ නියෝජිතයෝ සහ තුර්කි නිලධාරිහු මෙම සාකච්ඡාවල මූලිකත්වය ගෙන කටයුතු කරති.

කළු මුහුදේ තිබෙන ඔඩීසා වරයා වත යුරේකනයෙන් පැමිණෙන ධාන්‍ය රැගත් නෞකාවට අවසර දීමට රුසියාව පියවර ගනු ඇතැයි ද පැවැසිණි.

රුසියාව, යුක්රේනය, තුර්කිය අතර සාකච්ඡාවක් එක්සත් ජාතීන්ගේ නියෝජිතයන්ගේ ද සහභාගීත්වය ඇති ඉදිරි සතියකදී පැවැත්වෙනු ඇතැයි ද පැවසේ. මෙම සාකච්ඡාවක තුර්කියේ ඉස්තාන්බුල් නුවරදී පැවැත්වීමට නියමිතව ඇත.

(රොයිටර්)


RECOMMEND POSTS