ගබ්සාවට ඇති අයිතිය ප්‍රංශය තහවුරු කරයි



ගබ්සාවට ඇති අයිතිය, ව්‍යවස්ථාවෙන් තහවුරු කළ ලොව එකම රට බවට ප්‍රංශය පත්විය. ඒ, ගබ්සාවට ඇති අයිතිය සම්බන්ධයෙන් එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පනත් කෙටුම්පතට පාර්ලිමේන්තුවේ බහුතර මනාපය හිමි වීමෙනි.

ගබ්සාවට ඇති අයිතිය සම්බන්ධයෙන් එම පනත් කෙටුම්පත ඉදිරිපත් කෙරුණේ ප්‍රංශ පාර්ලිමේන්තුවේ පැවැතිවිශේෂ සැසියකටය. නියෝජිත මන්ත්‍රී මණ්ඩල සාමාජිකයන් පමණක් නොව, සෙනෙට් සාමාජිකයෝ ද එම විශේෂ සැසියට එක් වී සිටියහ.

ඡන්ද විමසුමෙන් ගබ්සාවට ඇති අයිතියට පක්ෂව ඡන්ද 780 ක් හිමිවුණු අතර, විරෝධය පළ කරමින් ලැබුණේ ඡන්ද 72 ක් පමණි.

‘මේක ඓතිහාසික අවස්ථාවක්. ප්‍රංශය ගත් මෙම තීරණය ලෝකයේ සෑම කාන්තාවකටම වැදගත් වේවි. කාන්තා ඔබ මතක තියා ගන්න ඕනෑ. ඔබේ සිරුර අයිති ඔබට පමණයි. ඔබ සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්න වෙන කාටවත් බැහැ’ යැයි ගබ්සාවට ඇති අයිතිය සම්බන්ධ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වීමෙන් පසු ප්‍රංශ නව අග්‍රාමාත්‍ය ගෙබ්‍රියෙල් අටාල් පැහැදිලි කළේය.

ගබ්සාවට ඇති අයිතිය සම්බන්ධ නීති හඳුන්වා දීමට පියවර ගත්තේ ප්‍රංශ නව අග්‍රාමාත්‍ය ගෙබ්‍රියෙල් අටාල්ය. ඒ, ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්ගේ අදහසකට අනුවය. ගබ්සාවට ඇති අයිතිය තහවුරු කිරීම කාන්තා අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන බොහොමයකගේ පැසැසුමට හේතුවක් විය.


RECOMMEND POSTS