කොවිඩ්19 ’සටන් විරාමයක්’



ශීත කාලය අවසන් වීමත්, වේගවත් එන්නත්කරණයත්, ඔමික්‍රෝන් විකෘතිය සැර බාලවීමත් නිසා යුරෝපා රටවල 'කොවිඩ් 19' සටන් විරාමයක් නිර්මාණය වෙමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝපා ප්‍රධානී හාන්ස් ක්ලූග් පැහැදිලි කරයි.

''ඔමික්‍රෝන් විකෘතිය නිසා දෛනිකව ආසාදිතයන් වැඩි වුවත්,  ඔමික්‍රෝන් විකෘතිය සැර බාල වීම නිසා කොවිඩ් 19 වසංගතයේ සැලැකිය යුතු අඩුවක් අපට දකින්න ලැබෙනවා. ඒක හරියට සටන් විරාමයක් හා සමානයි. ඒත් ඕනෑම අවස්ථාවක කොවිඩ් 19 දරුණු වෙන්න පුළුවන්.'' යැයි හාන්ස් ක්ලූග් මාධ්‍ය හමුවේ පෙන්වා දෙයි.

පසුගිය සතියේ යුරෝපා රටවලින් වාර්තා වූ 'කොවිඩ් 19' ආසාදිතයන් ගණන මිලියන 12 කි. එසේ වුවත්, රොහල් ධාරිතා ඉක්මවා යෑමක් හෝ අසාධ්‍ය තත්ත්වයට පත් වූ රෝගීන් ගැන හෝ වාර්තා නොවුණු බව හාන්ස් ක්ලූග් වැඩි දුරටත් පවසා ඇත.

මේ වනවිට ඩෙන්මාර්කය, එරට සෞඛ්‍ය අංශ අංශ උපදෙස් අනුව, 'කොවිඩ් 19' සඳහා පනවා තිබුණි ප්‍රසිද්ධ ස්ථානවල මුහුණු ආවරණ පැලඳීම ද ඇතුළු සියලු තහංචි ඉවත් කර තිබේ. ඒ අනුව, යුරෝපා රටවල් අතරින් සියලු සෞඛ්‍ය තහංචි ඉවත් කළ පළමු රට ඩෙන්මාර්කයයි. යුරෝපා රටවල් වන නෝර්වේ සහ ස්වීඩනය පවසා ඇත්තේ ලබන 9 වැනිදා සිට සෞඛ්‍ය නීතී මුළුමනින්ම ඉවත් කරන බවය.

ආසාදිතයන් දිගින් දිගටම වාර්තා වුවත්, 'කොවිඩ් 19' වසංගතයේ තර්ජනාත්මක මෙන්ම අනතුරුදායක ස්වරූපය පහව යමින් පවතින බව යුරෝපා රටවල් බොහොමයක වෛද්‍ය විශේෂඥයෝ අවධාරණය කරති. ඔමික්‍රෝන් විකෘතියෙන් ආරක්ෂා වීමට කඩිනමින් 'බූස්ටර්' එන්න ලබා ගැනීමට යොමු වෙන්නැයි ඔවුන් ජනතාවගෙන් දිගින් දිගටම ඉල්ලීමක් කර තිබේ.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS