කොරෝනාට එරෙහිව එකමුතු වෙන්න ඕනෑ
එදිරිවාදිකම් පසෙකලා ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය මැඬලීමට, චීනය සහ ඇමෙරිකාව එකමුතු විය යුතු යැයි චීන ජනාධිපති ෂී ජින්පින් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට පැවැසීය.
චීන ජනාධිපතිවරයා ඇමෙරිකන් ජනාධිපතිවරයාට මෙසේ පවසා ඇත්තේ දෙදෙනා අතර අද (28) පැවැති දුරකතන සංවාදයේදීය. මේ බව ඇමෙරිකාවේ ධවල මන්දිරයට තහවුරු කර ඇති බව පැවැසෙයි.
පසුගිය කාලයේ ඇමෙරිකාවත් චීනයත් අතර වෙළෙඳ යුද්ධයක් හටගෙන තිබුණි. ඇමෙරිකාව චීනයටත්, චීනය පෙරළා ඇමෙරිකාවටත් තීරු බදු පැනැවීම සිදු කළ අතර, දෙරට අර්බුදය ලෝක ආර්ථිකයට දරුණු ලෙස බලපෑම් එල්ල කළේය.
චීනයෙන් ආරම්භ වූ වයිරසය මේ වනවිට ඇමෙරිකාවට පැතිර ගොස් අවසන්ය. ඇමෙරිකාවේ ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට ලක්ෂය පසු කර ඇතැයි ද පැවැසෙයි.
ඇමෙරිකාවේ දරුණු ආකාරයට වයිරසය පැතිරෙන්නේ එය පාලනය කර ගැනීමට ඇමෙරිකන් ජනපති ට්‍රම්ප් නිසි වේලාවේ නිසි ක්‍රියා මාර්ග නොගැනීම නිසා යැයි චෝදනා එල්ල වී තිබේ.
කෙසේ නමුත් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අද (28) ඇමෙරිකන් ඩොලර් ටි්රලියන 2.2 ක සහන පැකේජයක් සඳහා අත්සන් තැබුවේය. කොරෝනා වයිරසය හේතුවෙන් ඇමෙරිකාවට එල්ල වී ඇති බලපෑම් පිටුදැකීමට මෙම සහන පැකේජය යොදා ගැනීමට නියමිතය.
චීනයේ වයිරස ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාව පහළ ගොස් ඇත. නව ආසාදිතයන් 54 දෙනකු හමුවී ඇතැයි පැවැසෙන නමුත් ඔවුන් විදේශවලින් චීනයට පැමිණි චීන ජාතිකයන් බව ද චීන රජය පැහැදිලි කර තිබේ.
මීට අමතරව, විදෙස් සංචාරකයන් චීනයට ඇතුළුවීම තාවකාලිකව නවතා දැමීමට චීන රජය පියවර ගෙන ඇතැයි ද පැවැසෙයි. වීසා හෝ පදිංචි බලපත්‍ර ඇති විදේශිකයන්ට පවා මෙම තහනම බලපැවැත්වෙන බව චීන රජය වැඩිදුරටත් පවසා තිබේ.
වොෂින්ටනයේදීය (රොයිටර්)