කොරෝනා එන්නත වසරක් පාසා දෙවරක් විඳින්න වේවි
‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයට එරෙහිව නිපදවන එන්නත, වසරකට වරක් දෙවතාවක් ලබා ගැනීමට ඇමෙරිකානුවන්ට සිදුවනු ඇතැයි එන්නත් නිෂ්පාදනයට සම්බන්ධ වී සිටින ඇමෙරිකන් ඖෂධ නිෂ්පාදන සමාගම් පවසයි.
ඇමෙරිකන් රජයේ අනුග්‍රහය යටතේ ඇමෙරිකාව තුළත් ඇමෙරිකාවෙන් පිටත් එන්නත් නිපදවීම ආරම්භ වී ඇත. ඇමෙරිකාව තුළ එන්නත් නිපදවීමෙහිලා ඉදිරියෙන් සිටින්නේ ‘මොඩර්නා’, ‘ෆයිසර්’ යන සමාගම් දෙකය. මෙම ඖෂධ සමාගම් නිපදවා ඇති එන්නත්, 3 වැනි අදියරේ සායනික පර්යේෂණ සඳහා යොමු කර අවසන් යැයි පැවැසෙයි.
‘ඇමෙරිකා ඉතිහාසයේ පමණක් නොව, ලෝක ඉතිහාසයේ සිදුවන විශාලතම එන්නත් වැඩසටහන වනු ඇත්තේ මෙම කොරෝනා එන්නත ලබා දීමය. කොවිඞ් 19 කොරෝනා වයිරසය අනෙක් වයිරසවලට වඩා සංකීර්ණයි. එය අඩපණ කිරීම පහසු නොවෙයි. එහෙයින් වසරක් පාවා, දෙවරක් එන්නත ලබා ගැනීමට අවශ්‍යවේවි.’ යැයි ‘මොඩර්නා’ සහ ‘ෆයිසර්’ ඖෂධ සමාගම්වල වෛද්‍ය පර්යේෂකයෝ පවසති.
මේ වනවිට ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් සහ මරණ වාර්තා වන්නේ ඇමෙරිකාවෙනි. ඇමෙරිකාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන් ගණන 6,173,328 කි. මරණ වාර්තා වන්නේ 187,225 ක් ලෙසිණි. ඇමෙරිකාවේ කොරෝනා වසංගතයක් ඇතිවූයේ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ දුර්වල පාලනය හේතුවෙන් යැයි චෝදනා එල්ල වෙමින් පවතී.
ලබන නොවැම්බර් තුන් වැනිදා ඇමෙරිකන් ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත අතර, ට්‍රම්ප් උත්සාහ ගන්නේ ඊට පෙර කොරෝනා මර්දන එන්නත නොමිලේ ජනතාවට බෙදා දීමටය.
වොෂින්ටනයේදීය (රොයිටර්)