කොංග්‍රසය අමතමින් බයිඩන් පුටින්ට දෙහි කපයි



ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් කොංග්‍රස් මණ්ඩලය ඇමතුවේය. එහිදී ඇමෙරිකාවේ අභ්‍යන්තර අර්බුදවලට වඩා ජනපති බයිඩන්ගේ වැඩි අවධානය යොමු වූයේ යුක්රේන රුසියානු යුද්ධය කෙරෙහිය. රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ‘ඒකාධිපති නරුමයකු’ ලෙස හඳුන්වාදීමට ද ඇමෙරිකන් ජනාධිපතිවරයා අමතක නොකළේය.

ලෝකයට යුද්ධයක් අවශ්‍ය නැති බවත්, යුක්රේන වැසියන්ගේ නිදහස අහිමි කිරීමට රුසියන් ජනාධිපති පුටින් ගන්නා උත්සාහය අසාර්ථක වනු ඇති බවත් ඇමෙරිකන් ජනාධිපතිවරයා වැඩි දුරටත් පෙන්වා දුන්නේය.
රුසියන් ජනාධිපති පුටින්, මේ වනවිට මුළු ලෝකයේම අප්‍රසාදයට පත් වී සිටින බවත්, යුක්රේනයට එරෙහිව පුටින් ගෙන යන සටන ඔහුගේ අවසානය වනු ඇති බවත් ඇමෙරිකන් ජනාධිපතිවරයා කොංග්‍රස් මණ්ඩලය හමුවේ පැහැදිලි කළේය.

ප්‍රබල රුසියන් හමුදාවට එරෙහිව නැගී සිටිමින් අභියෝග කරන යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සහ යුක්රේන සිවිල් වැසියන්නේ නීර්භීතබව සහ ධෛර්යය ඇගැයීමට ලක් කිරීමට ද ඇමෙරිකන් ජනාධිපතිවරායා පියවර ගත්තේය.

යුක්රේනයට එල්ල කරන ප්‍රහාර හමුවේ රුසියාව දිනෙන් දින දුර්වල වෙමින් පවතින බව ද ඇමෙරිකන් ජනාධිපති බයිඩන් වැඩි දුරටත් පවසා ඇත. ඒ, ඇමෙරිකන් බුද්ධි අංශ උපුටා දක්වමිනි.යුක්රේනයට එල්ල කරන ප්‍රහාරවලට විරෝධය පළ කරමින් ඇමෙරිකාව මේ වනවිටත් රුසියාවට සම්බාධක පැනැවීමක් කර ඇත.

ඒ රුසියාව ආර්ථිකමය වශයෙන් අඩපණ කිරීමේ අරමුණින්ය. රුසියානු සමාගම්, ව්‍යාපාරිකයන් සහ බිලියනපතියන් ඉලක්ක කර ගනිමින් ඇමෙරිකාව දිගින් දිගටම නව සම්බාධක පනවන බව ද වාර්තා වේ. ඊට අමතරව සෙසු බටහිර රටවල් සේම, ඇමෙරිකාවෙන් යුක්රේන හමුදාවට අවි ආයුධ ලබා දීම පවා සිදුවෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS