කිම් ජොන් උන් හමුවෙනවා



අවස්ථාවක් ලැබුණු සැණින් තමන් උතුරු කොරියා නායක කිම් ජොන් උන් හමුවීමට යන බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් කියයි. ජෝ බයිඩන් මෙසේ පැවැසුවේ, දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් හමුවී සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුවය.

දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන් සහ ඇමෙරිකා ජනාධිපති බයිඩන් අතර හමුව වොෂින්ටන් අගනුවර ධවල මන්දිරයේදී පැවැත්විණි. දකුණු කොරියා ජනාධිපතිවරයා ඇමෙරිකාවට පැමිණියෙත්,‍ ධවල මන්දිරයේ දී ජනාධිපති ජෝ බයිඩන් හමුවූයේත්, බයිඩන් කළ ඇරැයුමකට අනුවය.

ඇමෙරිකන් ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු බයිඩන් සහ දකුණු කොරියා ජනපති මූන් මුහුණට මුහුණ හමුවුණු පළමු අවස්ථාව මෙයයි. කලාපීය ආරක්ෂක කටයුතු සහ චීනයෙන් එල්ල වන තර්ජන සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමෙන් පසු උතුරු කොරියාව කෙරෙහි බයිඩන්ගේ අවධානය යොමු වුණැයි ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

බයිඩන්ට පෙර ඇමෙරිකාවේ ජනපති ධුරය හෙබවූ ඩොනල්ඩ් ට්‍රම්ප් උතුරු කොරියා නායක කිම් ජොන් උන් හමුවී, පැවැත්වූ න්‍යෂ්ටික අවිහරණ සාකච්ඡා  ඉදිරියට ගෙන යෑමට තමන් කැමැත්තෙන් සිටින බවත්, අවස්ථාවක් ලැබුණු සැණින්, තමන් උතුරු කොරියා නායක කිම් ජොන් උන් හමුවීමට කැමති බවත් බයිඩන් පැවැසුවේ, සාකච්ඡාවලින් පසු දකුණු කොරියා ජනපති මූන් ජේ ඉන් සමඟ ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පවත්වද්දීය.

දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන් හමුවුණු අවස්ථාවේදී, උතුරු කොරියාව වෙනුවෙන් නව නියෝජිතයකු පත් කිරීමට ද බයිඩන් කටයුතු කළේය. උතුරු කොරියාව වෙනුවෙන් පත් කළ එම විශේෂ නියෝජිතයා, අත්දැකීම් බහුල පරිනත රාජ්‍ය තාන්ත්‍රිකයකු වන සුන් කිම් ය.

ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකාවේ ජනපති ධුරය හොබවද්දී, උතුරු කොරියා නායක හමුවී සාකච්ඡා පැවැත්වීමට මඟ සකස් කර දුන්නේ ද දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන් ය. එසේ වූයේ මූන් ජේ ඉන්ගේ නම්‍යශීලී ප්‍රතිපත්ති හේතුවෙනි. උතුරු කොරියා නායකයා ජනපති ට්‍රම්ප් හමුවූයේ චීනයෙන් ද උපදෙස් ලබා ගැනීමෙන් පසුවය.

වොෂින්ටනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS