කළු තරුණයෙක් පොලිස් වෙඩි පහරින් මරුට



පොලිස් ප්‍රතිසංස්කරණ ඉල්ලමින් පැවැති උද්ඝෝෂණයක් අතරතුරේ සුදු ජාතික පොලිස් නිලධාරියකු කළ වෙඩි තැබීමකින් ජෝර්ජියා ප්‍රාන්තයේ ඇට්ලැන්ටා නුවර 27 හැවිරිදි කළු තරුණයක් ජීවිතක්ෂයට පත් විය.

එම වෙඩි තැබීමේ සිදුවීමත් සමඟ ඇට්ලැන්ටා නුවර ප්‍රචණ්ඩ ක්‍රියා රැල්ලක් ද ආරම්භ විය. ජනතා විරෝධය දිගින් දිගටම එල්ල වෙද්දී, ඇට්ලැන්ටා පොලිස්පතිනිය එරිකා ෂීල්ඩ්ස් සිය ඉල්ලා අස්වීම නගරාධිපති ක්‍රිෂා ලාන්ස් බටන්ස්ට බාර දුන්නේ යැයි ද වාර්තා වේ.

වෙඩි වැදීමෙන් මියගියේ රෙෂාඩ් බෲක්ස් නමැති අප්‍රිකානු ඇමෙරිකානු තරුණයාය. එම අවස්ථාවේ ඔහු 'වෙන්ඩීස්' නමැති අවන්හලට සිය මෝටර් රථයෙන් පැමිණ සිටියේ ආහාර ඇනවුම් කිරීමටය.

සුදු පොලිස් නිලධාරීන් වෙඩි තබමින් කලහකාරීව හැසිරුණු පිරිස් විසුරුවද්දී, කලහකාරී උද්ඝෝෂකයකු යැයි සිතා පොලිස් නිලධාරියා රෙෂාඩ් බෲක්ස් වෙඩි තබා ඇත.

වෙඩි තැබීම සිදුවූයේ පසුගිය සිකුරාදා (12) සවසය. පොලිස් ප්‍රතිසංස්කරණ ඉල්ලමින් ඇමෙරිකාවේ විරෝධතා පැවැත්වෙන්නේ පසුගිය 25 වැනිදා මිනසෝටා ජනපදයේ මිනියැපොලිස් නුවර දී කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ් මියයෑමේ සිදුවීම මුල්කොට ගනිමිනි.

‍එම සිදුවීමෙන් පසු ඇමෙරිකන් පොලිසියට විරෝධයක් එල්ල වී ඇති අතර, පොලිස් ප්‍රතිසංස්කරණ අවශ්‍ය බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ද අදහස වී තිබේ.

ඇට්ලැන්ටාහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS