කඳවුරේ වෙඩි තැබීම ත්රස්ත ප්රහාරයක්
ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපදයේ පෙන්සකෝලා ගුවන් හමුදා කඳවුරේ පසුගිය සිකුරාදා (6) සිදුවුණු වෙඩි තැබීම ත්රස්ත ප්රහාරයක් යැයි තමන් විශ්වාස කරන බව එම වෙඩි තැබීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ඇමෙරිකානු එෆ්.බී.අයි. කාර්යාංශය පවසයි.
ෆ්ලොරීඩාවේ පිහිටි පෙන්සකෝලා ගුන් කඳවුරේ, ප්රහාරක ජෙට් යානා නියමුවන් පුහුණු කිරීම සිදුවෙයි. විදෙස් රටවල ගුවන් හමුදා නියමුවෝ, මෙම කඳවුරේ පාඨමාලාවල නියැලෙති.
පසුගිය 6 වැනිදා කඳවුරේ වෙඩි තැබීම කළේ, පුහුණු පාඨමාලාවකට සම්බන්ධ වී සිටි සෞදි ගුවන් හමුදා නිලධාරියෙකි. මොහු 21 හැවිරිදි මොහොමද් අල්ෂම්රානී නමැත්තා බව මේ වනවිට අනාවරණය වී තිබේ. මොහොමද් අල්ෂම්රානී වෙඩි තැබීම කර ඇත්තේ ගිනි අවියක් අනවසරයෙන් කඳවුරට රැගෙනවිත්ය.
අල්ෂම්රානී කළ වෙඩි තැබීමෙන්, මියගියේ ජොෂුවා කලේබ් වොට්සන් (23), මොහොමද් සමේහ් හයිකාම් (19) සහ කැමරන් ස්කොට් වෝල්ටර්ස් (21) යන ඇමෙරිකන් සොල්දාදුවන් තිදෙනාය. කඳවුරේ ආරක්ෂාවට සිටි සොල්දාදුවන් කළ වෙඩි තැබීමෙන්, මොහොමද් අල්ෂම්රානී ජීවිතක්ෂයට පත්විය.
අල්ෂම්රානී වෙඩි තැබීම කළේ ඇයිදැයි යන්න සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පැවැත්වෙයි. ඔහු සමඟ පුහුණු පාඨමාලාවට සම්බන්ධ වූ සෙසු සෞදි ගුවන් හමුදා නිලධාරීන්ගෙන් ප්රශ්න කිරීම ආරම්භ කළ බවත්, ඔවුන් කිසිදු අකමැත්තකින් තොරව පරීක්ෂණ සඳහා සහාය ලබා දෙන බවත් එෆ්.බී.අයි. පරීක්ෂකයෝ කියති. මේ අතර, වෙඩි තැබීමේ සිදුවීම සැලවීමත් සමඟ තමන් මහත් සේ කම්පනයට පත්වුණු බව සෞදියේ සල්මාන් රජු පවසා ඇත.
පෙන්සකෝලා ගුවන් හමුදා කඳවුරේ, සෞදි ගුවන් නියමුවන් පුහුණු කිරීමේ පාඨමාලා පැවැත්වෙන්නේ 1995 වසරේ සිටය. සෞදි ගුවන් හමුදා නියමුවන් පමණක් නොව, ඉතාලි, සිංගප්පූරු සහ ජර්මන් ගුවන් හමුදා නියමුවෙන් ද මෙම ගුවන් කඳවුරේ පැවැත්වෙන පුහුණු පාඨමාලාවලට සම්බන්ධ වන බව පැවැසෙයි.
පෙන්සකෝලාහිදීය (ඒ.එෆ්.පී.)