ඕස්ට්‍රේලියානුවන්ට පැනැවූ තහංචි ලිහිල් වෙයි
නිසි අවසරයකින් තොරව විදෙස් සංචාර සඳහා පිටත්ව යෑම තහනම් කරමින් ඔස්ට්‍රේලියානු වැසියන් වෙත පනවා තිබූ කොන්දේසි ලිහිල් කිරීමට එරට රජය තීරණය කර තිබේ.
කොවිඩ් වසංගතය හේතුවෙන් පනවා තිබූ මෙම කොන්දේසි ලබන මස පළමුවන දින සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කර ඇත. ඒ අනුව පූර්ණ එන්නත්කරණයට ලක්වූ පුද්ගලයින්ට විදෙස් සංචාරවල නිරත වීමේ දී අවසර ලබාගැනීමේ අවශ්‍යතාවක් නොමැති බව පැවැසෙයි.
මීට අමතරව, සෞඛ්‍ය බලධාරීන් ලබා දුන් උපදෙස් සැලකිල්ලට ගනිමින්, පළමු සහ දෙවැනි 'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නත් මාත්‍රා ලබා ගත් අවුරුදු 18 වැඩි සෑම කෙනකුටම, ප්රවර්ධක එන්නතක් එනම් බූස්ටර් එන්නතක් ලබා දීමට ඕස්ට්‍රේලියානු රජය තීරණය කර තිබේ. තෙවැනි මාත්‍රාවක් ලෙස ප්රවර්ධක එන්නතක් ලබා දීම කළ යුතු යැයි නිර්දේශ කර ඇත්තේ ඕස්ට්‍රේලියානු ඖෂධ පරිපාලන නියාමන අධිකාරියයි.
තෙවැනි මාත්‍රාව ලබා දීම ද ලබන නොවැම්බර් පළමු වැනිදා සිටි ආරම්භ කෙරෙනු ඇතැයි පැවැසෙයි. ප්රවර්ධක එන්නත ලෙස ලබා දීමට සුදුසු යැයි ඕස්ට්‍රේලියානු ඖෂධ පරිපාලන නියාමන අධිකාරිය නිර්දේශ කර ඇත්තේ ඇමෙරිකාවේ නිෂ්පාදිත 'ෆයිසර්' එන්නතය.
(රොයිටර්)