ඔස්ට්‍රේලියාව තනි කරන්නේ නෑ



චීනයෙන් එල්ල වන ආර්ථික අභියෝග හමුවේ කිසිම අවස්ථාවක ඔස්ට්‍රේලියාව හුදෙකලා නොකරන බව ඇමෙරිකාව පවසා ඇත.

ඇමෙරිකාව වෙනුවෙන් මෙසේ පවසා ඇත්තේ එරට රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන්ය. ඒ ඔස්ට්‍රේලියාවට පැමිණ එරට විදේශ අමාත්‍යවරිය වන මරීස් පේන් හමුවීමෙන් පසු පැවැත්වූ ඒකාබද්ධ මාධ්‍ය සාකච්ඡාවේදීය.

ඔස්ට්‍රේලියාව ඇමෙරිකාවේ මිතුරකු බවත් ඇමෙරිකාවේ සහාය හැමවිටම ඕස්ට්‍රේලියාවට ලැබෙන බවත් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් අවධාරණය කර තිබේ.

රාජ්‍ය ලේකම්වරයා මෙසේ අවධාරණය කළේ ඇමෙරිකාව සහ ඔස්ට්‍රේලියාව අතර මිත්‍ර සම්බන්ධතා වසර 70 ක් පිරීම නිමිත්තෙන් අදහස් දක්වමිණි. චීනයෙන් එල්ල වන ආර්ථික බලපෑම හමුවේ ඔස්ට්‍රේලියාවට පූර්ණ සහයෝගය ලබා දීමට ඇමෙරිකාව බැඳී සිටින බව ද රාජ්‍ය ලේකම් බ්ලින්කන් පැවැසීය.

“චීනයේ ආර්ථික බලපෑම හමුවේ එක්සත් ජනපදය මේ අවස්ථාවේදී ඔස්ට්‍රේලියාව තනි නොකරන බව මම නැවත නැවතත් කියා සිටිනවා. මිත්‍ර රාජ්‍යයන් කටයුතු කරන්නනේ එහෙම” යැයි ඇන්තනි බ්ලින්කන් ඒකාබද්ධ මාධ්‍ය හමුවේ දී වැඩි දුරටක් පෙන්වා දුන්නේය.

“දශක ගණනාවක් තිස්සේ ඉන්දු ශාන්තිකර කලාපයේ සාමය, සුරක්ෂිතභාවය, සහ ස්ථාවරත්වයට හේතු වුණේ ඇමෙරිකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැති බිඳ හෙළන්න බැරි ශක්තිමත් මිත්‍රත්වය” යැයි ද හෙතෙම කීය. කරුණු රැසක් මුල් කරගනිමින් චීනය සහ ඔස්ට්‍රේලියාව අතර මතභේද මේ වනවිට උත්සන්න වී තිබේ.

තායිවානය සහ චීනය අතර හමුදා අර්බුදයක් ඇති වූ අවස්ථාවක ඔස්ට්‍රේලියාව ඊට මැදිහත් වුවහොත් ඔස්ට්‍රේලියාවට බැලැස්ටික් මිසයිලයක් එවන බව චීන රාජ්‍ය මාධ්‍ය ඉකුත් දිනෙක වාර්තා කර තිබිණි. මෙම ප්‍රවෘත්තිය දෙරට අතර මතභේද උග්‍ර වීමට ප්‍රධාන හේතුවක් විය.
චීන-ඔස්ට්‍රේලියා උපයාමාර්ගික ආර්ථික සංවාදය යටතේ ඇති සියලු ක්‍රියාකාරකම් අත්හිටුවීමට චීනය පසුගිය සතියේ දී පියවර ගත්තේ ය.මෙම සංවාදය ආරම්භ කරන ලද්දේ 2014 වසරේ වන අතර අවසන් වරට කැඳවා ඇත්තේ 2017 වසරේ දී ය.

ඔස්ට්‍රේලියාව මතභේදාත්මක ‘මාවතක් සහ තීරයක්’ (බෙල්ට් ඇන්ඩ් රෝඩ්) ගිවිසුමෙන් ඉවත් වීමෙන් සති කිහිපයකට පසු චීනය එලෙස එම සංවාදයෙන් ඉවත් විය. චීනය සමඟ ඵලදායී සම්බන්ධතාවක් ඇති කරගැනීමට උත්සාහ ගන්නා බව මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ඔස්ට්‍රේලියානු විදේශ අමාත්‍යවරිය කීවා ය.

වොෂින්ටනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS