ඔමික්‍රෝන්වලට වඩා බිහිසුණු උප ප්‍රභේදය



‘කොවිඩ් 19 ඔමික්‍රෝන්’ වයිරස විකෘතියේ උප ප්‍රභේදය ද මේ වනවිට රටවල් 57 කට ව්‍යාප්තවී ඇති බවත්, එය ‘ඔමික්‍රෝන්’ මුල් ප්‍රභේදයට වඩා බිහිසුණු බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන අන්දමට, ‘බීඒ.2’ යන නමින් නම් කළ ‘ඔමික්‍රෝන්’ උප ප්‍රභේදය, ‘බීඒ.1’ යන නමින් නම් කළ ‘ඔමික්‍රෝන්’ මුල් ප්‍රභේදයට වඩා බිහිසුණු වන්නේ එය ඉතාමත් වේගයෙන් සම්ප්‍රේෂණය වන නිසා යැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය පැහැදිලි කරයි.

ඊට අමතරව ‘බීඒ.1.1’ ලෙසත්, ‘බීඒ.2.1’ ලෙසත් තවත් උප ප්‍රභේද කීපයක් බෙදී ඇති අතර, ඒවා ද මේ වනවිට සමාජගතවෙමින් පවතින බව වාර්තා වේ.

මෙම සියලු උප ප්‍රභේද මුල් ‘ඔමික්‍රෝන්’ ප්‍රභේදයට සමාන නමුත් සුළු වෙනස්කම් පෙන්නුම් කරනවා යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

ඇතැම් අවස්ථාවල ‘බීඒ.1’ ඔමික්‍රෝන් විකෘතියට වඩා, ‘බීඒ.2.’ සහ සෙසු උප ප්‍රභේද බිහිසුණු යැයි ද විවිධ රටවල වෛද්‍ය පර්යේෂකයකන් පෙන්වා දී ඇතැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය පැහැදිලි කර තිබේ.

‘බීඒ.2’ උප ප්‍රභේදය බිහිසුණු ලෙස ව්‍යාප්තවන්නේ ඩෙන්මාර්කයෙන් බව පැවැසෙයි. ඩෙන්මාර්කයෙන් වාර්තා වන ‘කොවිඩ් 19’ ආසාදිතයන්ගෙන් සියයට 88 ක් ‘බීඒ.2’ ඔමික්‍රෝන් උප ප්‍රභේදය ආසාදනය වූවන් බව එරට සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS